Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
14 verses
1තවද දාවිත් සහස්රාධිපතීන්ද ශතාධිපතීන්ද සියලු නායකයන්ද සමඟ මන්ත්රණයකරමින්
2මුළු ඉශ්රායෙල් සභාවට කථාකොට: ඔබ සැමට හොඳව පෙනේ නම්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේත් කැමතිවනසේක් නම්, මුළු ඉශ්රායෙල් දේශයෙහි ඉතුරුව සිටින අපේ සහෝදරයන්ටද ඔවුන් සමඟ තමුන්ගේ පිට-බිම් සහිත නුවරවල සිටින පූජකයන්ටද ලෙවීවරුන්ටද අප ළඟට රැස්වෙන්ට කියා සෑම දිශාවලට කියා යවා,
3අපේ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අප වෙතට නැවත ගෙනෙමු. මක්නිසාද සාවුල්ගේ දවස්වලදී අපි ඒක ඉදිරියෙහි නොවිචාළෙමුයයි කීවේය.
4මුළු සෙනඟගේ ඇස් හමුවෙහි එය හරිව පෙනුණු නිසා, එසේ කරන්ට කැමති බව මුළු සභාව කියා සිටියාය.
5ඒ නිසා දාවිත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කිරියත්-යෙයාරීම් සිට ගෙනෙන්ට මිසරයේ ෂීහෝර් ඔය පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරුන් රැස්කෙළේය.
6කෙරුබ්වරුන් අතරේ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය යූදාට අයිති බාලා නම්වූ කිරියත්-යෙයාරීම් සිට ගෙනෙන පිණිස දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරුද එහි ගියෝය.
7ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අබිනාදාබ්ගේ ගෙයින් අලුත් රථයක තබා ගෙනාවෝය. උස්සාද අහියෝද ගැළ දැක්කුවෝය.
8දාවිත්ද සියලු ඉශ්රායෙල්වරුද ගීතිකාවලිනුත් වීණාවලිනුත් කුඩා වීණාවලිනුත් රබන්වලිනුත් අත්තල්වලිනුත් නළාවලිනුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගායනාකළෝය.
9කීදොන්ගේ පාවරට ආ කල හරක් දැඟලූ බැවින් උස්සා ගිවිසුම් පෙට්ටිය අල්ලන්ට තමාගේ අත දිගුකෙළේය.
10එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය, ඔහු ගිවිසුම් පෙට්ටියට තමාගේ අත දිගුකළ බැවින් උන්වහන්සේ ඔහුට පහරදුන්සේක. ඔහු එහිදී දෙවියන්වහන්සේ ඉදිරියෙහි මළේය.
11ස්වාමීන්වහන්සේ උස්සාට කළ හදිසි පහර දීම නිසා දාවිත් අප්රසන්න විය. ඔහු ඒ ස්ථානයට පෙරෙෂ්-උස්සාන නාමය තැබීය, ඒ නාමය අද දක්වා ඊට තිබේ.
12ඒ දවසේදී දාවිත් දෙවියන්වහන්සේට භයව: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට කෙසේ ගෙනෙම්දැයි කීවේය.
13ඒ නිසා දාවිත් ගිවිසුම් පෙට්ටිය තමා වෙතට දාවිත්ගේ නුවරට නොගෙන අහකට හරවා, එය ගිත්තිය ඕබෙද්-ඒදොම��ගේ ගෙට ගෙන ගියේය.
14එසේ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔහුගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත් ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාදකළසේක.