Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
24 verses
1ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්කිරීම ගැන, ගලාතියේ සභාවලට මා නියමකළ ලෙස නුඹලාත් කරන්න.
2මා ආ කල සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා.
3මා ආවාම නුඹලා දෙන දේ යෙරුසලමට ගෙනයන පිණිස සුදුස්සෝයයි නුඹලා සිතන තැනැත්තන් ලියුම් ඇතුව යවන්නෙමි.
4මාත් යෑම යෝග්‍ය නම් ඔවුන් කැඳවාගන යන්නෙමි.
5මම මකිදෝනිය මැදින් ගිය පසු නුඹලා ළඟට එන්නෙමි; මක්නිසාද මකිදෝනිය මැදින් යමි.
6මා යන කොයි දිශාවට නුමුත් මාගේ ගමනෙහි නුඹලා මා යවන පිණිස, නුඹලා සමඟ කලක් නවතින්නෙමි. නොහොත් ශීත කාලය ගතකරන්නෙමි.
7මා දැන් යන ගමෙන්දී නුඹලා දකින්ට නොකැමැත්තෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ අවසර දෙනසේක් නම්, නුඹලා සමඟ කලක් සිටින්ට බලාපොරොත්තුවෙමි.
8නුමුත් පෙන්තකොස්තය වෙන තුරු එපීසයෙහි නවතින්නෙමි;
9මක්නිසාද මහත්වූ බලවත්වූ දොරක් මට ඇර තිබේ, බොහෝ විරුද්ධකාරයෝද සිටිති.
10තිමෝතියස් ආවොත් ඔහු භය නැතුව නුඹලා අතරෙහි සිටින හැටියට බලාගන්න; මක්නිසාද මා වාගේම ඔහුත් ස්වාමීන්වහන්සේගේ වැඩය කරන්නේය.
11එබැවින් කිසිවෙක් ඔහු සුළුකොට නොසිතාවා. නුමුත් ඔහු මා ළඟට එන පිණිස සමාදානයෙන් ඔහුගේ ගමනෙහි යවන්න. මක්නිසාද ඔහු සහෝදරයන් සමඟ එනවා බලා සිටිමි.
12සහෝදරවූ අපොල්ලොස් ගැන නම්, සහෝදරයන් සමඟ නුඹලා ළඟට යන ලෙස මම ඔහුගෙන් බොහෝකොට ඉල්ලමි. නුමුත් දැන්ම යෑම කිසිසේත් ඔහුගේ කැමැත්ත නොවේ; අවකාශ ලැබුණු විටක ඔහු එනවා ඇත.
13අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.
14නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.
15සහෝදරයෙනි, ස්තේපනස්ගේ ගෙයි වැසියන් අකායෙහි ප්‍රථම ඵල බවද ඔවුන් ශුද්ධවන්තයන්ගේ සේවයට භාරවුණ බවද නුඹලා දනීහුය.
16නුඹලාත් එවැනි අයටද වැඩට හවුල්වෙමින් වීර්යකරන්නාවූ සියල්ලන්ටද යටත්ව සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.
17ස්තේපනස්ගේද පොර්තුනාතුස්ගේද ආකායිකස්ගේද ඊම ගැන ප්‍රීතිවෙමි. නුඹලා නැති පාඩුව ඔව්හු පිරිමැසුවෝය.
18මක්නිසාද ඔව්හු මාගෙත් නුඹලාගෙත් ආත්ම ප්‍රාණවත්කළෝය. එබැවින් එබඳු අය සලකන්න.
19ආසියාවේ සභාවෝ නුඹලාට ආචාර කරති. අකිලාද ප්‍රිස්කාද ඔවුන්ගේ ගෙදර තිබෙන සභාව සමඟ ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට බොහෝසෙයින් ආචාරකරති.
20සියලු සහෝදරයෝ නුඹලාට ආචාරකරති. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.
21පාවුල් නම්වූ මාගේම අතින් ලියන මාගේ ආචාරකිරීමය.
22යමෙක් ස්වාමීන්වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමීන්වහන්සේ එනසේක.
23ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.
24මාගේ ප්‍රේමය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා සියල්ලන් සමඟ වේවා. ආමෙන්.