Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1සහෝදරයෙනි, ආත්මිකයන්ට මෙන් නුඹලාට කථාකරන්ට නොහැකිව, මාංසිකයන්ටත් ක්‍රිස්තුස්වහන්සේ තුළ බිලිඳුන්ටත් මෙන් කථාකෙළෙමි.
2මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණයකෙළෙමි; එසේ කළේ නුඹලා ඒවා දරන්ට බැරිව සිටි නිසාය. එසේය, දැනුත් බැරිය;
3මක්නිසාද නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?
4මක්නිසාද එක්කෙනෙක්: මම පාවුල්ගේය; වෙන කෙනෙක්: මම අපොල්ලොස්ගේයයි කියන කල, නුඹලා මාංසිකයෝ නොවෙත්ද?
5ඉදින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය.
6මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.
7එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.
8හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.
9මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නෝය. නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය.
10මට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි; වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නුමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.
11මක්නිසාද දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.
12නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්,
13එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය.
14ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය.
15යම් කෙනෙකුගේ කර්මාන්තය දැවීයන්නේ නම්, ඔහුට අලාභවන්නේය. නුමුත් ඔහුම ගැළවෙන්නේය; එහෙත් ගිනි මැදින් ගැළවුණාක්මෙන්ය.
16නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?
17යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.
18කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.
19මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය. මක්නිසාද: උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් අසුකරගන්නාසේකැයි ලියා තිබේ.
20නැවතද: ස්වාමීන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵලව තිබෙන බව දන්නාසේකැයි ලියා තිබේ.
21එහෙයින් කවරෙක්වත් මනුෂ්‍යයන් ගැන පාරට්ටු නොකෙරේවා. මක්නිසාද සියල්ල නුඹලාගේය;
22පාවුල් හෝ අපොල්ලොස් හෝ කේපස් හෝ ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ දැන් තිබෙන දේ හෝ මතු පැමිණෙන දේ හෝ සියල්ල නුඹලාගේය;
23නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේය; ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේය.