Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
53 verses
1සිරියවරුන්ද ඉශ්‍රායෙල්වරුන්ද අතරේ තුන් අවුරුද්දක් යුද්ධ නැතුව තිබුණේය.
2තුන්වෙනි අවුරුද්දේ යුදාහි රජවූ යෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු ළඟට ආයේය.
3ඉශ්රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව ඔබ සැම දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය.
4ඔහු යෙහෝෂාපාට්ට කථාකොට: යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. යෙහෝෂාපාට්ද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි ඉශ්රායෙල් රජුට කීවේය.
5තවද යෙහෝෂාපාට්: ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අද විභාගකළමැනවැයි ඉශ්රායෙල් රජුට කීය.
6එවිට ඉශ්රායෙල් රජ ප්‍රොපේතවරුන් වන හාරසියයක් පමණ මනුෂ්‍යයන් රැස්කොට: මම රාමොත්-ගිලියද්ට විරුද්ධව යුද්ධයට යම්ද නොයම්දැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: ගිය මැනවි; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
7නුමුත් යෙහෝෂාපාට්: අප විසින් විචාරන පිණිස මෙහි තව ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක් නැද්දැයි ඇසුවේය.
8ඉශ්රායෙල් රජද: ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත්‍රවූ මීකායානම් තව එක්කෙනෙක් සිටියි. එහෙත් ඔහු මා ගැන අනාගත වචනයෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛරවෙමියි යෙහෝෂාපාට්ට කීවේය. යෙහෝෂාපාට්ද: රජ්ජුරුවෝ එසේ නොකියත්වයි කීවේය.
9එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා: ඉම්ලාගේ පුත්‍රවූ මීකායා ඉක්මනින් ගෙන්වන්නැයි කීවේය.
10ඉශ්රායෙල් රජද යුදාහි රජවූ යෙහෝෂාපාට්ද ස්වකීය වස්ත්‍ර පැළඳගෙන සමාරිය දොරටුවේ එලිමහන් තැනක තම තමුන්ගේ සිංහාසනවල වාඩිවී උන්නෝය; සියලු ප්‍රොපේතවරු ඔවුන් ඉදිරිපිට අනාගතවාක්‍ය කීවෝය.
11තවද කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් නැතිකරනතුරු මේවායින් ඔවුන්ට අනිනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
12ප්‍රොපේතවරුන් සියල්ලෝ එලෙසම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනවි. මක්නිසාද ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
13මීකායා කැඳවාගන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එකලෙස රජු ගැන යහපත පවසති. ඔබේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය.
14මීකා���ා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
15ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කථාකොට: මීකායා, අපි රාමොත්-ගිලියද්ට විරුද්ධව යුද්ධයට යමුද නොයමුදැයි ඔහුගෙන් ඇසුවේය. ඔහුද: ගොස් ජයගත මැනවි; ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි උත්තරදුන්නේය.
16රජ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කීවරක් ඔබ දිවුරවම්දැයි ඔහුට කීවේය.
17එවිට ඔහු කථාකොට: සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ-මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.
18ඉශ්රායෙල් රජ: ඔහු මා ගැන අනාගතවාක්‍යයෙන් නරකක් මිස යහපතක් කියන්නේ නැත කියා මම ඔබට නොකීයෙම්දැයි යෙහෝෂාපාට්ට කීවේය.
19මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.
20ස්වාමීන්වහන්සේ කථාකොට-ආහබ් රාමොත්-ගිලියද්ට ගොස් එහිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු පොළඹවන්නේ කවුදැයි ඇසූසේක. එක්කෙනෙක් මේ ආකාරද එක්කෙනෙක් ඒ ආකාරද කීවේය.
21එකල ආත්මයෙක් නික්ම ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට-මම ඔහු පොළඹවන්නෙමියි කීවේය.
22ස්වාමීන්වහන්සේ-කුමකින්දැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු-මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් වන්නෙමියි කීවේය. උන්වහන්සේද ඔබ ඔහු පොළඹවා ජයගන්නවා ඇත. ගොස් එසේ කරන්නැයි කීසේක.
23එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; තවද ස්වාමීන්වහන්සේ ඔබ ගැන නපුරක් කථාකළසේකැයි කීවේය.
24එවිට කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකිය ළංවී මීකායාගේ කන්මුලට ගසා: ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔබට කථාකරන්ට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන්දැයි ඇසුවේය.
25එවිට මීකායා: ඔබ සැඟවෙන පිණිස ඇතුල්ගෙයකට යන දවසෙහි දැනගන්නෙහියයි කීවේය.
26ඉශ්රායෙල් රජ: ඔබ මීකායා රැගෙන නුවර අධිපතියාවූ ආමොන්ද රජුගේ පුත්‍රවූ යෝවාෂ්ද ළඟට ගෙන ගොස් කථාකොට:
27ඔබ සැම මොහු හිරගෙයි ලා මා සමාදානයෙන් එනතුරු මොහුට දුක් සහිත කෑමද දුක් සහිත වතුරද දෙන්නැයි රජු කියන්නේය කියා කියන්නැයි කීවේය.
28මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත්, ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැත. ජනයිනි, ඔබ සැම සියල්ලෝම අසන්නැයි කීවේය.
29මෙසේ ඉශ්රායෙල් රජද යුදාහි රජවූ යෙහෝෂාපාට්ද රාමොත්-ගිලියද්ට ගියෝය.
30ඉශ්රායෙල් රජ යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගන යුද්ධයට පැමිණෙමි; නුමුත් ඔබ ඔබගේම වස්ත්‍ර පැළඳගත මැනවැයි කීවේය. එසේ ඉශ්රායෙල් රජ වෙස් මාරුකරගන යුද්ධයට ගියේය.
31සිරියේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කථාකොට: ඔබ සැම ඉශ්රායෙල් රජුට විරුද්ධව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධව සටන් නොකරන්නැයි අණකර තිබුණේය.
32තවද රථාධිපතීහු යෙහෝෂාපාට් දුටුකල: මොහු ඉශ්රායෙල් රජමයයි කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට හැරුණෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය.
33ඒ ඉශ්රායෙල් රජු නොවන බව දැක රථාධිපතීහු ඔහු වෙතින් හැරී ගියෝය.
34නුමුත් එක් මනුෂ්‍යයෙක් අහම්බෙන් දුන්න තැත්කවා ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: ඔබේ අත දමා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මට බොහෝ තුවාලවීයයි රථචාරියාට කීය.
35ඒ දවසේ යුද්ධය තදබල වුණේය. රජතෙමේ සිරියවරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇතුව රථයේ කෙලින් සිටුවනුලැබ, සවස මළේය. තුවාලයෙන් ලේ රථයේ පතුලට ගලාගෙන ගියේය.
36එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත් රටටත් යේවයි කියා ඉර බහින වේලේ සේනාව මුළුල්ලෙහි ප්රසිද්ධයක් කරනලද්දේය.
37මෙසේ රජ මැරී සමාරියට ගෙනයන ලද්දේය; ඔව්හු රජු සමාරියේ තැන්පත්කළෝය.
38තවද ඔව්හු වේශ්‍යාවන් නාන තැනවූ සමාරියේ පොකුණෙන් රථය සේදුවෝය; ස්වාමීන්වහන්සේ කී වචනයේ හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑවෝය.
39ආහබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහු සෑදූ ඇත් දත් ගෙයද ගොඩනැගූ සියලු නුවරවල්ද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
40මෙසේ ආහබ් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජ වුණේය.
41ඉශ්රායෙල් රජවූ ආහබ්ගේ සතරවෙනි අවුරුද්දේදී ආසාගේ පුත්‍රවූ යෙහෝෂාපාට් තෙමේ යුදා කෙරෙහි රජවුණේය.
42යෙහෝෂාපාට් රජවෙන කල අවුරුදු තිස් පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමේ විසි පස් අවුරුද්දක් රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම අසූබාය, ඈ ෂිල්හීගේ දුවය.
43ඔහු තමාගේ පියවූ ආසාගේ මුළු මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණ දේ කෙළේය. එසේ වුවත් උස් තැන් පහනොකරන ලද්දේය; එවකටත් සෙනඟ පූජාද සුවඳ දුම්ද උස් තැන්වල ඔප්පුකළෝය.
44යෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු සමඟ සමාදානවිය.
45යෙහෝෂාපාට්ගේ අනික් කාරණාද ඔහු කළ බලවන්තකම්ද යුද්ධකළ හැටිද යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
46තමාගේ පියවූ ආසාගේ දවස්වල ඉතුරුවුණ සොදොමියයන්. ඔහු දේශයෙන් සිඳදැමුවේය.
47එකල ඒදොම්හි රජෙක් නොවීය. යුව රජෙක් රජකම්කෙළේය.
48යෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර්ට යන්ට තර්ෂීෂ් නැව් සෑදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයින්ද ඒ නැව් එශියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.
49එකල ආහබ්ගේ පුත්‍රවූ අහසියා: මාගේ සේවකයෝ ඔබේ සේවකයන් හා සමඟ නැව්වල යෙත්වයි යෙහෝෂාපාට්ට කීවේය. නුමුත් යෙහෝෂාපාට් කැමති වුණේ නැත.
50යෙහෝෂාපාට් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරන ලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම් ඔහු වෙනුවට රජවුණේය.
51යුදාහි රජවූ යෙහෝෂාපාට්ගේ දස සත්වෙනි අවුරුද්දේදී ආහබ්ගේ පුත්‍රවූ අහසියා ඉශ්රායෙල් කෙරෙහි සමාරියේ රජවී දෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම්කෙළේය.
52ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයේද තමාගේ මෑණියන්ගේ මාර්ගයේද ඉශ්රායෙල්වරුන්ට පවුකරන්ට සැලැස්සුවාවූ, නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ මාර්ගයේද හැසුරුණේය.
53ඔහු බාල්ට සේවයකර ඔහුට නමස්කාරකරමින් තමාගේ පියා කළ ප්‍රකාරයටම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.