Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1සාවුල් රජකමට පැමිණෙන විට ඔහු අවුරුදු තිහක් 13:1 මුල් පිටපත්වල ගණනක් නොපෙනෙන නුමුත් ඇතැම්හු මෙසේ තිහක් යයි කියති. වයස්ව සිටියේය. ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි දෑවුරුද්දක් රජකම්කෙළේය.
2තවද සාවුල් ඉශ්රායෙල්වරුන්ගෙන් තුන්දාහක් මනුෂ්‍යයන් තෝරාගත්තේය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හිද බෙතෙල් කන්දේද සිටියෝය, දාහක් යොනාතාන් සමඟ බෙන්යමින් ගිබියාහි සිටියෝය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට හැරියේය.
3යොනාතාන් ගෙබාහි සිටි පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන්නේය, එපවත් පිලිස්තිවරුන්ට ආරංචිවිය. සාවුල්ද හෙබ්‍රෙව්වරු අසත්වයි කියා දේශය මුළුල්ලෙහි හොරණෑව පිම්බෙවුවේය.
4සාවුල් විසින් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන් බවත් පිලිස්තිවරුන් ඉශ්රායෙල්ට පිළිකුල්කළ බවත් සියලු ඉශ්රායෙල්වරුන්ට සැලවිය. සෙනඟද ගිල්ගාල්හි සිටිය සාවුල් වෙතට රැස්වූවෝය.
5පිලිස්තිවරු ඉශ්රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරළේ වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.
6තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.
7සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය.
8ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය.
9එවිට සාවුල්: දවන පූජාව හා ශාන්ති පූජා මා ළගට ගෙනෙන්නැයි කීවේය. ඔහු දවන පූජාව ඔප්පුකෙළේය.
10ඔහු දවන පූජාව ඔප්පුකර තීන්දුවුණ හැටියේම සාමුවෙල් ආයේය; සාවුල්ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමගට ගියේය.
11සාමුවෙල්: ඔබ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්,
12මම කථ���කොට: මා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට මත්තෙන් පිලිස්තිවරු මට විරුද්ධව ගිල්ගාල්ට එන්නෝය කියා, අකැමැත්තෙන් දවන පූජාව පූජාකෙළෙමියි කීවේය.
13සාමුවෙල්ද සාවුල්ට කථාකොට: ඔබ අණුවන ලෙස ක්‍රියාකෙළෙහිය. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ උන්වහන්සේගේ ආඥාව රක්ෂාකළේ නැත. රක්ෂාකළා නම් ස්වාමීන්වහන්සේ ඔබේ රජකම ඉශ්රායෙල් කෙරෙහි සදාකාලේටම ස්ථිරකරනවා ඇත.
14නුමුත් දැන් ඔබේ රජකම පවතින්නේ නැත. ස්වාමීන්වහන්සේ ඔබට අණකළ දේ ඔබ රක්ෂානොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු සොයාගන තමන්ගේ සෙනඟ කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියමකර තිබේයයි කීවේය.
15සාමුවෙල් පිටත්වී ගිල්ගාලෙන් බෙන්යමින් ගිබියාට ගියේය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන්කෙළේය, ඔව්හු හසියයක් පමණ වූහ.
16සාවුල්ද තමාගේ පුත්‍රවූ යොනාතාන්ද ඔවුන් සමඟ සිටි සෙනඟද බෙන්යමිය ගෙබාහි නැවතී සිටියෝය. නුමුත් පිලිස්තිවරු මික්මාෂ්හි කඳවුරු බැන්දෝය.
17පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් කොල්ලකාරයෝ කණ්ඩායම් තුනක් ව නික්ම ආවෝය. එක කණ්ඩායමක් ඕප්‍රාට යන මාර්ගයෙන් ෂුවාල් රටට ගියේය.
18එක කණ්ඩායමක් බෙත්හොරොන්ට යන මාර්ගයෙන් ගියේය. එක කණ්ඩායමක් කාන්තාරයට යන්නාවූ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන සීමාවේ මාර්ගයෙන් ගියේය.
19මුළු ඉශ්රායෙල් දේශයෙහි ආචාරියෙක් නොසිටියේය. මක්නිසාද: හෙබ්‍රෙව්වන් කඩුද හෙල්ලද සාදානොගන්න පිණිසයයි පිලිස්තිවරු කීවෝය.
20සියලු ඉශ්රායෙල්වරු තම තමුන්ගේ හීවැලද දෑකැත්තද පොරොවද උදැල්ලද මුවහත් කරන්ට පිලිස්තිවරුන් ළඟට ගියෝය;
21එහෙත් උදලුද දෑකැතිද යකඩ කොකුද පොරෝද මුවහත් කරන්ටත් කෙවිට හරිගස්සන්ටත් ඔවුන්ට පීරක් තිබුණේය.
22මෙසේ යුද්ධ දවසේදී සාවුල්ටත් ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ටත් මිස සාවුල් සහ යොනාතාන් සමඟ සිටි සෙනඟගෙන් කිසිවෙකු අතේ කඩුවක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැත.
23පිලිස්තිවරුන්ගේ මුර සමුදාව මික්මාෂ්හි කඳු පාරට ගියේය.