Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
24 verses
1තවද සාවුල් දාවිත් මරන්ට කියා තම පුත්‍රවූ යොනාතාන්ටත් තමාගේ සියලු සේවකයන්ටත් කීවේය.
2නුමුත් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් දාවිත් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටියේය. යොනාතාන් එය දාවිත්ට දන්වමින්: මාගේ පියවූ සාවුල් ඔබ මරන්ට සොයන්නේය. ඒ නිසා ඔබ හෙට උදේ ප්‍රවේසම්වී රහස් තැනක සැඟවී සිටින්න.
3මම ඇවිත් ඔබ සිටින කෙතෙහි මාගේ පියාණන් ළඟ සිට ඔබ ගැන මාගේ පියාණන් සමඟ කථාකොට, කාරණ දැනගන ඔබට දන්වන්නෙමියි දාවිත්ට කීවේය.
4යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්: රජ්ජුරුවෝ තමාගේ සේවකයාවූ දාවිත්ට විරුද්ධව පව් නොකෙරෙත්වා; මක්නිසාද ඔහු ඔබට විරුද්ධව පව් නොකෙළේය, ඔබ පිළිබඳවූ ඔහුගේ ක්‍රියාවලුත් ඔබට ඉතා ප්රයෝජනවත්ය.
5කුමක් හෙයින්ද ඔහු තමාගේ ප්‍රාණය නොසලකා ගොස් පිලිස්තියයා මැරුවේය, එයින් ස්වාමීන්වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට මහත් ගැළවීමක් ඉෂ්ටකර දුන්සේක. ඔබ ඒ දැක ප්‍රීතිවූයෙහිය. එබැවින් නිෂ්කාරණයේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව්කරන්ට හදන්නේ මක්නිසාදැයි කීවේය.
6සාවුල් යොනාතාන්ගේ හඬට ඇහුම්කන්දී: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු මරනු නොලබන්නේයයි දිවුරුවේය.
7යොනාතාන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගන ගියේය, හෙතෙම පෙර ලෙස ඔහු ඉදිරියෙහි සිටියේය.
8නැවතත් යුද්ධයක් විය. දාවිත් පිටත්ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන් අතරේ මහත් නාස්තියක් කෙළේය; ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.
9තවද සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන ගෙයි හිඳින අතර ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහුට ආවේශවිය; දාවිත් තමාගේ අතින් වීණාව ගෑවේය.
10සාවුල්ද බිත්තියටම වදින පිණිස හෙල්ලයෙන් දාවිත්ට අනින්ට උත්සාහ කෙළේය; නුමුත් ඔහු සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේය, හෙල්ලය බිත්තියට වැදුණේය. නුමුත් දාවිත් පලාගොස් ඒ රාත්‍රියේ ගැළවුණේය.
11දාවිත් ගැන රැකසිට පසුවදා උදය ඔහු මරන පිණිස සාවුල් ඔහුගේ ගේ ළඟට පණිවිඩකාරයන් යැවීය. එය දාවිත්ගේ භාර්යාවවූ මීඛල් ඔහුට දන්වා: අද රාත්‍රියේ ඔබේ ප්‍රාණය ගළවා නොගත්තොත් හෙට ඔබ මරනු ලබනවා ඇතැයි ඔහුට කීවාය.
12මීඛල්ද කවුළුවෙන් දාවිත් බැස්සෙව���වාය. ඔහු පලා ගොස් ගැළවුණේය.
13මීඛල් තෙරඵීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ ඉස යට එළු ලොම් කොට්ටයක් තබා, ඒක රෙදිවලින් වැසුවාය.
14දාවිත් ගෙනෙන්ට සාවුල් පණිවිඩකාරයන් යැවූ කල: ඔහු ලෙඩින්යයි ඈ කීවාය.
15දාවිත් බලන්ට සාවුල් නැවත පණිවිඩකාරයන් යවා ඔහු මරන පිණිස ඇඳත් පිටින් මා ළඟට ගෙනෙන්නැයි කීවේය.
16පණිවිඩකාරයන් ඇතුල්වූ කල හිසට තිබූ එළු ලොම් කොට්ටය සමඟ තෙරඵීම් රූපය ඇඳේ තිබුණේය.
17ඔබ මෙසේ මා රවටා මාගේ සතුරාට ගැළවී යන්ට ඉඩ ඇරියේ මක්නිසාදැයි සාවුල් මීඛල්ගෙන් ඇසීය. මීඛල් උත්තරදෙමින්: මා විසින් ඔබ නොමරන පිණිස මා යන්ට ඇරින්න කියා ඔහු මට කීවේයයි සාවුල්ට කීවාය.
18මෙසේ දාවිත් පලාගොස් ගැළවී රාමාහි සිටි සාමුවෙල් ළඟට පැමිණ, සාවුල් තමාට කළ සියල්ල ඔහුට දැන්නුවේය. එවිට ඔහු සහ සාමුවෙල් ගොස් නායොත්හි විසුවෝය.
19දාවිත් රාමායේ නායොත්හි සිටින්නේයයි සාවුල්ට දන්වනලද්දේය.
20සාවුල් දාවිත් ගෙනෙන්ට පණිවිඩකාරයන් යැවීය. ඔවුන් ධර්මවාක්‍ය පවසමින් සිට ප්‍රොපේත මණ්ඩලයද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයාව සිටින බවද දුටු විට දෙවියන්වහන්සේගේ ආත්මය සාවුල්ගේ පණිවිඩකාරයන් කෙරෙහි පැමුණුණේය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.
21ඒ බව සාවුල්ට දැන්වූ කල ඔහු වෙන පණිවිඩකාරයන් යැවීය. ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය. සාවුල් නැවතත් තුන්වෙනි වර පණිවිඩකාරයන් යැවීය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.
22එවිට ඔහුත් රාමාට ගොස් සේබූහි තිබෙන මහත් ළිඳ ළඟට පැමිණ: සාමුවෙල් සහ දාවිත් කොතන සිටිනවාදැයි ඇසුවේය. අන්න, ඔවුන් රාමායේ නායොත්හි සිටිනවායයි කෙනෙක් ඔහුට කීවේය.
23ඔහු රාමායේ නායොත්ට ගියේය. එවිට ඔහු කෙරෙහිත් දෙවියන්වහන්සේගේ ආත්මය පහළවූයෙන් ඔහු රාමාහි නායොත්ට පැමිණෙන තුරු ධර්මවාක්‍ය පවස පවසා, ගියේය.
24ඔහු තමාගේ වස්ත්‍ර ගළවා දමා, සාමුවෙල් ඉදිරියෙහි ධර්මවාක්‍ය පවසා, ඒ මුළු දවාලෙත් ඒ මුළු රාත්‍රියෙත් නග්නව වැටී උන්නේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේදැයි මනුෂ්‍යයෝ කියති.