Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
13 verses
1එහෙයින්, අපට තවත් ඉවසාගන්ට නොහැකිවූ කල, අතීනසෙහි තනියම අත්හරිනු ලැබීමට අපි සතුටුවී,
2මේ දුක්වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, නුඹලා ස්ථිරකිරීමටත් නුඹලාගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත්, අපේ සහෝදරයාද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාද වූ තිමෝතියස් එවීමුව.
3මක්නිසාද අප දුක් විදීමට නියමව තිබෙන බව නුඹලාම දනිහුය.
4මක්නිසාද අප දුක් විඳින්ට සිටින බව, නුඹලා සමඟ සිටියදී කලින් නුඹලාට කීවෙමුව; එලෙසම සිදුවුණු බව නුඹලා දන්නහුය.
5මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.
6දැන් තිමෝතියස් නුඹලා වෙතින් අප ළඟට ඇවිත්, නුඹලාගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම නුඹලා අප හොඳාකාර සිහිපත්කරමින්, අප නුඹලා දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට නුඹලාත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල,
7සහෝදරයෙනි, අපේ සියලු අමාරුවලදීත් පීඩාවලදීත් නුඹලාගේ ඇදහිල්ල නිසා නුඹලා සම්බන්ධව සැනසීම ලැබීමුව.
8මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්නහු නම් අපි ජීවත්වමුව.
9මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සඳහා ප්‍රීතිවන සියලු ප්‍රීතිය නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට මොන ස්තූතියක් දෙන්ට අපට පුළුවන්ද?
10නුඹලාගේ මුහුණ දකින පිණිසද නුඹලාගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණකරන පිණිසද අපි රෑ දාවල් ඉතා අධිකලෙස යාච්ඤාකරමුව.
11ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේමද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද නුඹලා වෙතට එන්ට අපට මාර්ගය සලස්වාදෙනසේක්වා.
12අප නුඹලාට ප්‍රේමකරන්නාක්මෙන්ම ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් එකිනෙකා කෙරෙහිත් අනික් සියල්ලන් කෙරෙහිත් නුඹලාගේ ප්‍රේමය වැඩිකර, එයින් නුඹලා පුරවා,
13මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල නුඹලාගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.