Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
25 verses
1මහලු කෙනෙකුට සැර නොකර, පියෙකුට මෙන්ද, යෞවනයන්ට සහෝදරයන්ට මෙන්ද,
2වැඩිමහල් ස්ත්රීන්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්ද අවවාදකරන්න.
3ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට ගෞරවකරන්න.
4නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ.
5ඇත්තටම අසරණව සිටින වැන්දඹු තැනැත්තී දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙමින් රෑ දාවල් කන්නලව්වලද යාච්ඤාවලද පවතින්නීය.
6නුමුත් සැප සෙල්ලමින් පසුවෙන තැනැත්තී ජීවත්ව සිටියදීම මැරී සිටින්නීය.
7ඔවුන් නිදොස්ව සිටින පිණිස මේ දේත් ආඥා කරන්න.
8යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.
9වැන්දඹුවන්ගේ ගණනට ලියවෙන්ට යුතුව සිටින්නී නම්, වයසින් හැටකට අඩු නැත්තාවූ, එකම පුරුෂයෙකුට භාර්යාවව සිටියාවූ,
10යහපත් ක්‍රියා ගැන ප්රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.
11නුමුත් යෞවන වැන්දඹුවන් එපාකරන්න. මක්නිසාද ඔව්හු ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධවූ තෘෂ්ණාවලින් පෙලඹුණාම සරණපාවාගන්ට ආශාවෙති.
12මෙසේ ඔව්හු තමුන්ගේ පළමු විශ්වාසය අත්හැරිය බැවින් වරදට පැමිණෙති.
13ඇරත් ඔව්හු ගෙයින් ගෙට ඇවිදිමින් කම්මැළිවෙන්ටත් ඉගෙනගනිති; කම්මැළිවෙනවා පමණක් නොව නුසුදුසු දේ කථාකරමින්, වාචාලියෝද අනුන්ගේ කාරණා සොයන්නෝද වෙති.
14එබැවින් යෞවන වැන්දඹුවන් විවාහවී දරුවන් බිහිකරනවාටත් ගෙදර ආණ්ඩුකරනවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි.
15මක්නිසාද දැනටත් සමහරු අහක්ව සාතන් පස්සේ ගොස් සිටිති.
16යම් ඇදහිලිවන්තියෙකුට වැන්දඹු ස්ත්‍රීහු සිටිත් නම්, ඈ ඔවුන්ට උපකාර කරාවා, සභාව විසින් ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට උපකාරකරන පිණිස අනික් අය ඒ සභාවට බර නොවෙත්වා.
17යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.
18මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ.
19සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට මිස නැත්නම් වැඩිමහල්ලෙකුට විරුද්ධව වරද තැබීමක් පිළි නොගන්න.
20අනික් අය භයවෙන පිණිස, පව්කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටුකරන්න.
21කලින් නිශ්චයකරගනවත් පක්ෂපාත කමින්වත් කිසිවක් නොකර, මේ සියල්ල පවත්වන්ට දෙවියන්වහන්සේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේද තෝරාගත් දේවදූතයන්ද ඉදිරියෙහි නුඹට අණකරමි.
22ඉක්මන්වී කිසිවෙකු කෙරෙහි අත් නොතබන්න, අනුන්ගේ පාපවලට පංගුකාරයෙක්ද නොවෙන්න.
23නුඹම පිරිසිදුව සිටින්න. මින්මතු වතුරම බොන්නෙක් නොවී, නුඹේ ආමාශය උදෙසාද නොයෙක්විට පැමිණෙන නුඹේ දුර්වලකම් නිසාද, මුද්‍රිකපානය ටිකක් භාවිතාකරන්න.
24සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය; සමහරුන්ගේ පාප පසුව එළිදරව්වන්නේය.
25එසේම පැහැදිලිව ප්රකාශවන්නාවූ යහපත් ක්‍රියාද ඇත; එසේ නොවන ඒවාත් සැඟවී තිබෙන්ට බැරිය.