Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1මෙසේ අබියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය, ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.
2ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි යහපත්ව හරිව තිබුණ දේ කෙළේය.
3මක්නිසාද ඔහු අන්‍ය පූජාසනද උස් තැන්ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කණු කපාදැමුවේය;
4තවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ටද ව්‍යවස්ථාවත් ආඥාවත් පවත්වන්ටද යුදාවරුන්ට අණකෙළේය.
5ඔහු යුදාහි සියලු නුවරවලින් උස්තැන් සහ සූර්ය-රූප පහකෙළේය. රාජ්‍යයද ඔහු ඉදිරියෙහි නිශ්චලව තිබුණේය.
6තවද ඔහු යුදාහි බලකොටු නුවරවල් ගොඩනැඟුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහුට නිවාඩුව දුන් බැවින් දේශය නිශ්චලව තිබුණාය, ඒ අවුරුදුවල ඔහුට යුද්ධයක් නොවීය.
7ඔහු යුදාවරුන්ට කථාකොට: අපි මේ නුවරවල් ගොඩනගා අවට පවුරුද කොටුද දොරටුද අගුල්ද සාදමු; අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙවූ බැවින් දේශය තවම නිරවුල්ව අප ඉදිරියෙහි තිබේ; අපි උන්වහන්සේ සෙවුවෙමුව, උන්වහන්සේද හැම අතින්ම අපට නිවාඩුව දී තිබේයයි කීවේය. මෙසේ ඔව්හු ගොඩනගමින් සඵලවූවෝය.
8යුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින්ද බෙන්යමින්ගෙන් පලිස් දරන දුනුගත් දෙලක්ෂ අසූදහසකින්ද යුක්තවූ සේනාවක් ආසාට සිටියාය. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.
9ඔවුන්ට විරුද්ධව කූෂ්හි සෙරා දශලක්ෂයක් සෙනඟද රථ තුන්සියයක්ද අඩංගුවූ සේනාවක් ඇතුව පිටත්වී මාරෙෂා දක්වා ආයේය.
10ආසා වනාහි ඔහුට විරුද්ධව ගියේය. එවිට මාරෙෂාහි ශෙපාතා මිටියාවතෙහි ඔව්හු යුද්ධ පිළිවෙළින් සිටගත්තෝය.
11ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට ස්වාමීන්වහන්ස, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිටවුවමැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. ස්වාමීන්වහන්ස, ඔබ අපේ දෙවියන්වහන්සේය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවයි කීවේය.
12ස්වාමීන්වහන්සේ ආසා සහ යුදාවරුන් ඉදිරියෙහි කූෂ්වරුන් පැරදවූසේක; කූෂ්වරු පලාගියෝය.
13ආසාද ඔහු සමඟ සිටි සෙනඟද ගෙරාර් දක්වා ඔවුන් ලුහුබැන්දෝය. කූෂ්වරුන්ගෙන් කිසිවෙක් ජීවත්ව ඉතුරු නොවෙන ලෙස ඔව්හු වැටුණෝය; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ සේනාවද ඉදිරියෙන් විනාශකරනු ලැබුවෝය; ඔව්හු ඉතා මහත් කොල්ලයක්ද අරගෙන ආවෝය.
14ගෙරාර් අවට සියලු නුවරවලට ඔව්හු පහරදුන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඔවුන් පිටට භීතියක් පැමුණුණේය. ඔව්හු ඒ සියලු නුවරවල් කොල්ලකෑවෝය; ඒවායේ බොහෝ කොල්ලය තිබුණේය.
15ඔව්හු සිව්පාවුන්ගේ මඩුවලටත් පහරදී බොහෝ බැටළුවන්ද ඔටුවන්ද අල්ලාගෙන යෙරුසලමට හැරී ආවෝය.