Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
12 verses
1යෙරුසලමේ වැසියෝ ඔහුගේ බාල පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. මක්නිසාද අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව සියලු වැඩිමහල් පුත්‍රයන් මැරුවෝය. එබැවින් යුදාහි රජවූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම්කෙළේය.
2අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජවී, අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතලියාය, ඈ ඔම්රීගේ දුවෙක්ය.
3ඔහුද ආහබ්ගේ වංශයේ මාර්ගවල හැසුරුණේය. මක්නිසාද දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුගේ මන්ත්‍රණකාරී වූවාය.
4ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. මක්නිසාද ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුට මන්ත්‍රණකාරයෝ වූහ.
5ඔහුත් ඔවුන්ගේ මන්ත්‍රණය ලෙස හැසිර, ආහබ්ගේ පුත්‍රවූ ඉශ්රායෙල් රජවූ යෙහෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාලකළෝය.
6ඔහු සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව සටන්කරන අතර රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හිදී සුවකරවාගන්න පිණිස ඔහු හැරී ආවේය. යුදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් රෝගාතුරව සිටි බැවින් ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.
7යෝරාම් ළඟට යාම නිසා අහසියාටවූ විනාශය දෙවියන්වහන්සේ කෙරෙන් විය. මක්නිසාද ඔහු ගිය කල ආහබ්ගේ වංශය සිඳ දමන පිණිස ස්වාමීන්වහන්සේ විසින් ආලේපකළාවූ නිම්ෂීගේ පුත්‍රවූ යේහුට විරුද්ධව ඔහු යෙහෝරාම් සමඟ ගියේය.
8තවද යේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ටකරද්දී යුදාහි අධිපතීන්ද අහසියාට සේවයකළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන්ද සම්බව ඔහු ඔවුන් මැරුවේය.
9ඔහු අහසියා සොයා ගියේය, ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්වා යේහු ළඟට ගෙනවුත් මැරුවෝය; තවද ඔව්හු කථාකොට: මොහු වනාහි තමාගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ සෙවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රයායයි කියා ඔහු තැන්පත් කළෝය. රාජ්‍යය පවත්වාගන්ට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.
10එකල අහසියාගේ මවුවූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු යුදා රාජවංශය නැතිකළාය.
11නුමුත් රජුගේ දූවූ යෙහෝෂබත් මරනු ලැබූ රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහුද ඔහුගේ කිරි මවද යහන් තුබූ ගබඩාවෙහි සඟවා තැබුවාය. මෙසේ යෙහෝරාම් රජුගේ දූවූ, යෙහෝයාදා පූජකයාගේ භාර්යාවවූ, අහසියාගේ සහෝදරීවූ යෙහෝෂබත් අතලියා විසින් ඔහු නොමරන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවාය.
12ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.