Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේ ගෘහයද ගොඩනැගීමට ගතකළ විසි අවුරුද්දට පසු,
2හූරාම් විසින් සාලමොන්ට දුන් නුවරවල් සාලමොන් ගොඩනගා, එහි ඉශ්රායෙල් පුත්‍රයන් වාසයකෙරෙවුවේය.
3සාලමොන් හමාත්-ශෝබාට ගොස් එය යටත්කරගත්තේය.
4ඔහු කාන්තාරයෙහි තද්මොර්ද හමාත්හි ගොඩනැගූ ගබඩා-නුවරවල් සියල්ලද ගොඩනැඟුවේය.
5එසේම ඉහළ බෙත්-හෝරන්ද පහළ බෙත්-හෝරන්ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නුවරවල්ද;
6බාලාත්ද සාලමොන්ට තිබුණ සියලු ගබඩා-නුවරවල්ද තමාගේ රථවලට සියලු නුවරවල්ද තමාගේ අසරුවන්ට නුවරවල්ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් සාලමොන් තමාගේ සතුට පිණිස ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැඟුවේය.
7ඉශ්‍රායෙල්ගෙන් නුවූ, ඉශ්රායෙල් පුත්‍රයන් විසින් විනාශනොකළාවූ හිත්තිවරුන්ගෙන්ද අමෝරිවරුන්ගෙන්ද පෙරිස්සිවරුන්ගෙන්ද හිවීවරුන්ගෙන්ද යෙබූසිවරුන්ගෙන්ද
8ඉතිරිවූ මුළු සෙනඟට පසුව දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේය.
9නුමුත් ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් සාලමොන් තමාගේ වැඩට කිසිවෙකු දාසයෙකු කොට පත් නොකෙළේය. ඔව්හු වනාහි යුද්ධ කාරයෝව ඔහුගේ අධිපතියෝව ඔහුගේ රථාධිපතියෝව ඔහුගේ අසරුවෝව සිටියෝය.
10සෙනඟ කෙරෙහි ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදෑනිවරුන් දෙසිය පනස්දෙනෙකුත් සාලමොන් රජුට සිටියෝය.
11සාලමොන් වනාහි ඵාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය උදෙසා ගොඩනැගූ ගෘහයට ගෙනාවේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පැමුණුණ ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක් ඉශ්රායෙල් රජවූ දාවිත්ගේ ගෘහයෙහි නොවිසිය යුතුයයි ඔහු කීවේය.
12එකල සාලමොන් ද්වාරමණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනගා තිබුණ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකෙළේය.
13සබත් දවස්වලදීද අමාවක්වලදීද නියම මංගල්‍යවලදීද අවුරුද්දට තුන්වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුස�� ලෙස ඔහු පූජා ඔප්පුකෙළේය.
14තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.
15කොයි කාරණයක් ගැනවත් අගනා වස්තු ගැනවත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නොවූහ.
16ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම ලූ දවස දක්වාත් ඒක නිමවන තුරුත් සාලමොන්ගේ සියලු වැඩ සූදානම්ව තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහය සම්පූර්ණවිය.
17එකල සාලමොන් ඒදොම් දේශයේ මුහුදුබඩ තිබෙන එශීයොන්-ගෙබෙර්ටත් ඒලොත්ටත් ගියේය.
18හූරාම් තමාගේ සේවකයන් අත නැව්ද මුහුදේ කාරණා දන්නාවූ සේවකයන්ද ඔහු වෙතට එවුවේය; ඔව්හු සාලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය පනහක් සාලමොන් රජු වෙතට ගෙනාවෝය.