Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
29 verses
1ඉශ්රායෙල් රජු යෝවාහාස්ගේ පුත්‍රවූ යෝවාෂ්ගේ දෙවෙනි අවුරුද්දේදී යුදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශියා රජවුණේය.
2ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙහෝයද්දින්ය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
3ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් තමාගේ පියවූ දාවිත් මෙන් නොවේය. තමාගේ පියවූ යෝවාෂ් කළ සියල්ල ලෙස ඔහු කෙළේය.
4එසේ වී නුමුත් උස් තැන් අහක් නොකරනලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.
5තවද රජකම ඔහු අතේ ස්ථිරවූ කෙණෙහිම ඔහු තමාගේ පියරජු මැරුවාවූ තමාගේ සේවකයන් මැරුවේය.
6නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා; එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියා ස්වාමීන්වහන්සේ අණකළ පරිද්දෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස, ඔහු ඒ මිනීමරුවන්ගේ දරුවන් නොමැරුවේය.
7ඔහු ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධකොට සේලා අල්ලාගන, අද දක්වා තිබෙන හැටියට ඊට යොක්තෙයේල් යන නම තැබුවේය.
8එකල අමශියා පණිවිඩකාරයන් යවා: එන්න, අපි මුණගැසෙමු කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස්ගේ පුත්‍ර වන ඉශ්රායෙල් රජවූ යෙහෝවාෂ්ට කියා ඇරියේය.
9ඉශ්රායෙල් රජවූ යෙහෝවාෂ් උත්තරදෙමින්: ඔබේ දුව මාගේ පුතාට භාර්යාකොට දෙන්නැයි ලෙබනොන්හිවූ ගොකටුගස ලෙබනොන්හිවූ කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු ගස පාගාදැමුවේය.
10ඔබ ඒදොම්වරුන්ට පහර දුන්නා සැබෑය, ඔබේ සිතද උඩඟුවී තිබේ. ඒ ගෞරවය ඇතුව ගෙදර සිටින්න; ඔබද ඔබ සමඟ යුදාවරුන්ද වැටෙනලෙස ඔබ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යුදාහි රජවූ අමශියාට කියා ඇරියේය.
11එහෙත් අමශියා ඇහුම්කන් දුන්නේ නැත. ඒ නිසා ඉශ්රායෙල් රජවූ යොහෝවාෂ් ගියේය; ඔහුද යුදාහි රජවූ අමශියාද යුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී එකිනෙකා මුණගැසුණෝය.
12යුදාවරු ඉශ්රායෙල්වරුන්ට පරාජයවී සියල්ලෝම තම තමුන්ගේ කූඩාරම්වලට පලාගියෝය.
13ඉශ්රායෙල් රජවූ යෙහෝවාෂ් අහසියාගේ පුත්‍රවූ යෙහෝවාෂ්ගේ පුත්‍රයා වන යුදාහි රජවූ අමශියා බෙත්-ෂෙමෙෂ්හිදී අල්ලාගෙන යෙරුසලමට ඇවිත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක් බිඳහෙලා,
14ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙයි ගබඩාවලත් තිබුණු රන් රිදී සියල්ලද භාජන සියල්ලද ඇපකාරයන්ද රැගෙන, සමාරියට හැරී ගියේය.
15යෙහෝවාෂ් කළ අනික් ක්‍රියාද ඔහුගේ වික්‍රමයද ඔහු යුදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධ කළ හැටිද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
16යෙහෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි ඉශ්රායෙල් රජුන් ළඟ තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ යෙරොබොවම් ඔහු වෙනුවට රජ වුණේය.
17යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්රායෙල් රජවූ යෙහෝවාෂ්ගේ මරණයෙන් පසු යෝවාෂ්ගේ පුත්‍රවූ යුදයේ රජවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්වුණේය.
18අමශියාගේ අනික් ක්‍රියා යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
19මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා,
20එහිදී ඔහු මරා අශ්වයන් පිට තබා ගෙනවුත් යෙරුසලමෙහි දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ තැන්පත්කළෝය.
21එකල යුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්ව සිටි අශරියා කැඳවාගෙන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.
22රජ තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලත් ගොඩනගා එය යුදාට නැවත අයිතිකරගත්තේය.
23යුදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශි-යාගේ පසළොස්වෙනි අවුරුද්දේදී ඉශ්රායෙල් රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් සමාරියෙහි රජවී සතළිස් එක් අවුරුද්දක් රජකම්කෙළේය.
24ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු පාපවලින් ඔහු අහක්නූණේය.
25ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය.
26මක්නිසාද ඉශ්රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතළ බවත් දාසයන්ද නිර්දාසයන්ද නැතිවී ගිය බවත් ඉශ්රායෙල්ට උපකාරකරන කෙනෙක් නැති බවත් ස්වාමීන්වහන්සේ දුටු සේක.
27තවද ඉශ්රායෙල් යන නාමය අහස යටින් මකාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ නොකීසේක. එබැවින් උන්වහන්සේ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් ලවා ඔවුන් ගැළෙවුසේක.
28යෙරොබොවම්ගේ අනික් ක්‍රියාත් ඔහු කළ සියල්ලත් ඔහුගේ වික්‍රමය එනම් ඔහු යුද්ධකළ හැටිත් යුදාට අයිතිව තිබූ දමස්කයද හමාත්ද ඔහු නැවත ඉශ්රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
29යෙරොබොවම්ද තමාගේ පියවරුන් වන ඉශ්රායෙල් රජුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ සෙකරියා ඔහු වෙනුවට රජවුණේය.