Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
27 verses
1තවද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් යුදාහි රජවූ යෙහෝෂාපාට් දහ අටවෙනි අවුරුද්දේදී සමාරියෙහි ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය.
2ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය; එහෙත් තමාගේ පියාද මවුද මෙන් නොවේ. මක්නිසාද ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භය පහකෙළේය.
3එසේ වුවත් ඔහු ඉශ්රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී, ඒවාට ඇලුම්ව සිටියේය.
4මෝවබ්හි රජවූ මෙෂා බැටළු හිමියෙක්ව සිටියේය; ඔහු ඉශ්රායෙල් රජුට එක් ලක්ෂයක් බැටළු පැටවුන්ගෙන්ද එක් ලක්ෂයක් බැටළුවන්ගේද ලෝම දෙන සිරිතක් තිබුණේය.
5නුමුත් ආහබ් මැරුණු කල මෝවබ්හි රජ ඉශ්රායෙල් රජුට විරුද්ධව කැරළිගැසීය.
6යෙහෝරාම් රජද ඒ කාලයේ සමාරියෙන් පිටත්ව ගොස් සියලු ඉශ්රායෙල්වරුන් රැස්කොට ගණන්කෙළේය.
7තවද ඔහු ගොස් යුදාහි රජවූ යෙහෝෂාපාට් වෙත පණිවිඩයක් යවමින්: මෝවබ්හි රජ මට විරුද්ධව කැරළිගැසුවේය, ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධව යුද්ධයට යන්නෙහිදැයි අසා ඇරියේය. ඔහුද: යන්නෙමි. මම ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි කීවේය.
8ඔහු: අපි කුමන පාරකින් යමුදැයි ඇසුවේය. ඔහුද: ඒදොම් කාන්තාරයේ පාරෙන්යයි උත්තරදුන්නේය.
9මෙසේ ඉශ්රායෙල්හි රජද යුදාහි රජද ඒදොම්හි රජද ගියෝය. ඔවුන් සත් දවසක ගමන් වටේට ගිය විට සේනාවටත් ඔවුන් අනුව ගිය සිව්පාවුන්ටත් වතුර නැතිවිය.
10එවිට ඉශ්රායෙල් රජ: අහෝ ස්වාමීන්වහන්සේ මෝවබ් අතට පාවා දෙන්ට මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි කීය.
11නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.
12යෙහෝෂාපාට්ද: ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙත තිබේයයි කීය. මෙසේ ඉශ්රායෙල් රජද යෙහෝෂාපාට්ද ඒදොම්හි රජද ඔහු ළඟට ගියෝය.
13එලිෂා ඉශ්රායෙල් රජුට කථාකොට: මාගෙන් ඔබට කම මොකද? ඔබේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් ඔබේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහ��්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය.
14එලිෂා කථාකොට: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම සැබවින් යුදාහි යෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම් මා ඔබ දෙස බලන්නේවත් ඔබ දකින්නේවත් නැත.
15දැන් ඉතින් වීණාකාරයෙකු මා ළඟට ගෙනෙන්නැයි කීවේය. වීණාකාරයා ගායනා කරද්දී ස්වාමීන්වහන්සේගේ හස්තය එලිෂා පිටට පැමිණියේය.
16ඔහු කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මේ මිටියාවත පුරාම අගල් කපන්න.
17මක්නිසාද ඔබ සැම හුළඟක්වත් වැස්සවත් නොදකින නුමුත් ඔබ සැමටත් ඔබ සැමගේ සිවුපාවුන්ටත් ඔබ සැමගේ මෘගයන්ටත් බීමට මේ මිටියාවත වතුරෙන් පිරෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
18මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද ඔබ සැම අතට පාවාදෙනසේක.
19ඔබ සැම පවුරු ඇති සියලු නුවරවල්ද සියලු අනර්ඝ නුවරවල්ද නාස්තිකර, සියලු හොඳ ගස් කපා දමා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ බිම් ගල් දමා නරක් නරන්නහුයයි කීවේය.
20පසුවදා උදය පූජාව ඔප්පුකරන වේලාව පමණේදී ඒදොම් දිශාවෙන් වතුර ඇවිත් එයින් රට පිරීගියේය.
21තවද සියලු මෝවබ්වරු තමුන්ට විරුද්ධව යුද්ධකරන්ට රජුන් ආ බව ඇසූ විට යුද්ධායුධ පළඳින්ට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස්වූද සියල්ලෝ රැස්වී සීමාව ළඟ සිටියෝය.
22ඔවුන් අලුයම නැගිටි කල ඒ වතුර පිටට හිරුරැස් වැටුණේය, මෝවබ්වරු තමුන් ඉදිරිපිට තිබුණු වතුර ලේ මෙන් රතුව තිබෙනවා දැක: මේ නම් ලේය;
23සැබවින් රජවරු විනාශවූවෝය, ඔවුන් එකිනෙකා මරාගන්ට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැයි කීවෝය.
24ඔවුන් ඉශ්රායෙල් කඳවුරට පැමිණිවිට ඉශ්රායෙල්වරු නැගිට මෝවබ්වරුන් තමුන් ඉදිරියෙන් පලායන තුරු ඔවුන්ට පහරදී, ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්නෝය.
25ඔව්හු නුවරවල් කඩාදමා, රටේ සියලු හොඳ බිම්වලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමුවෝය. කීර්-හරෙසතේහි ඉතුරුකළේ ගල් පමණක්ය; ගල්පටිකාරයෝ ඒක වටලාගෙන ඊට පහර දුන්නෝය.
26මෝවබ් රජ සටන තමාට ඉතා සැරව තිබුණු බව දැක ඒදොම් රජු කරා සේනාව මැදින් බිඳගන යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් සත්සියයක් රැගෙන ආවේය. එහෙත් ඔවුන්ට යන්ට නුපුළුවන්විය.
27එකල ඔහු තමා වෙනුවට රජ වෙන්ට සිටි තමාගේ කුලුඳුල් පුත්‍රයා රැගෙන දවන පූජාවක් කොට පවුර පිට පුදකෙළේය. මහත් උදහසක්ද ඉශ්රායෙල් පිටට පැමුණුණේය. එවිට ඔව්හු ඔහු වෙතින් අහක්වී තමුන්ගේ දේශයට හැරී ගියෝය.