Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
33 verses
1ශිෂ්‍ය ප්‍රොපේතවරු එලිෂාට කථාකොට: බැලුව මැනවි, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදිය.
2යොර්දාන ළඟට ගොස් එතනින් එක එකා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්ට අපට අවසර ලැබේවයි කීවෝය.
3එක්කෙනෙක්: ඔබද ඔබගේ මෙහෙකරුවන් සමඟ යන්ට සතුටුවුවමැනවැයි කීවේය. මම යමියි කියා, ඔහු ඔවුන් සමඟ ගියේය.
4ඔව්හු යොර්දාන ළඟට පැමිණ ගස් කැපුවෝය.
5එක් කෙනෙක් ලීයක් කපද්දී පොරෝතලය වතුරේ වැටුණේය. ඔහු: අනේ මාගේ ස්වාමිනි, ඒක ඉල්ලාගත් එකකැයි කෑගසා කීවේය.
6එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඒක වැටුණේ කොතනදැයි ඇසුවේය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය, එවිට යකඩය පාවුණේය.
7ඔහු: ඒක අරගන්නැයි කීය. හෙතෙම අත දිගුකර ඒක ගත්තේය.
8සිරියේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණයකරමින්: අසවල් අසවල් තැන මාගේ කඳවුර විය යුතුයයි කීවේය.
9දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: සිරියවරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනවැයි ඉශ්රායෙල් රජුට කියා ඇරියේය.
10දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තමාට ප්‍රවේසම්වෙන්ට කියා දැනුම්දුන් ස්ථානයට ඉශ්රායෙල් රජ මනුෂ්‍යයන් යවා ගැළවීගත්තේය; එසේ වුණේ වරක් දෙවරක් පමණක් නොවේය.
11මේ කාරණය ගැන සිරියේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා: අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවුද කියා ඔබ සැම මට දන්වන්නේ නැද්දැයි කීවේය.
12ඔහුගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, එසේ නොවේ. ඔබගේ යහන් ගබඩාවේදී ඔබ කියන වචන ඉශ්රායෙල්හි අනාගතවක්තෘවූ එලිෂා, ඉශ්රායෙල් රජුට දන්වන්නේයයි කීවේය.
13එවිට ඔහු: මා විසින් ඔහු ගෙන්වා ගන්නා පිණිස ඔහු කොතනද කියා ඔබ සැම ගොස් බලන්නැයි කීවේය. ඔහු දෝතාන්හි සිටින්නේයයි ඔහුට දන්වන ලද්දේය.
14එබැවින් ඔහු අශ්වයන්ද රථද මහත් හමුදාවක්ද එහි ඇරියේය. ඔව්හු රාත්‍රියේ ඇවිත් නුවර වටලාගත්තෝය.
15දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු: අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි ඔහුට කීය.
16ඔහුද: භයනොවන්න. මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය.
17එවිට එලිෂා යාච්ඤාකොට: ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.
18ඔවුන් එලිෂා ළඟට බැස්ස කල ඔහු: මේ සෙනඟ අන්ධකළ මැනවයි ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය. උන්වහන්සේ එලිෂාගේ වචනය ලෙස ඔවුන් අන්ධකළසේක.
19එවිට එලිෂා ඔවුන්ට කථාකොට: ඒ පාර මේක නොවේ, ඒ නුවරත් මේක නොවේ. මා පසුපස්සේ එන්න, ඔබ සැම සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ සැම ගෙනයන්නෙමියි කියා ඔවුන් සමාරියට ගෙනගියේය.
20තවද ඔවුන් සමාරියට පැමුණුණ විට එලිෂා: ස්වාමීන්වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදුසේක; ඔව්හු බැලූ විට තමුන් සමාරිය මැද සිටින බව දුටුවෝය.
21ඉශ්රායෙල් රජ ඔවුන් දැක: මාගේ පියාණෙනි, ඔවුන්ට පහරදෙම්ද? පහරදෙම්දැයි එලිෂාගෙන් ඇසුවේය.
22ඔහු: ඔබ ඔවුන්ට පහර නොදිය යුතුය; ඔබේ කඩුවෙන්ද ඔබේ දුන්නෙන්ද අල්වාගත් තැනැත්තන්ට ඔබ පහරදෙන්නෙහිද? ඔවුන් කා බී තමුන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන් ඉදිරියෙහි කෑමද වතුරද තබන්නැයි කීවේය.
23ඔහු ඔවුන්ට මහත් කෑමක් පිළියෙළ කෙළේය. ඔවුන් කෑවායින් බීවායින් පසු ඔහු ඔවුන් පිටත්කර හැරියේය, ඔව්හු තමුන්ගේ ස්වාමියා ළඟට ගියෝය. සිරියේ සේවා කණ්ඩායම් තවත් ඉශ්රායෙල් රටට නාවෝය.
24ඉන්පසු සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගෙන ඇවිත් සමාරිය වටලා ගත්තේය. මහත් සාගතයක්ද සමාරියෙහි විය.
25කොටළුහිසක් රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවිවසුරු කැබ්. එකකින් සතරෙන් කොටසක් රිදී ෂෙකෙල් පහකටත් විකිණෙනතෙක් ඔව්හු සමාරිය වටලාගන සිටියෝය.
26ඉශ්රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, පිහිටවුවමැනවැයි කියා මොරගැසුවාය.
27ඔහු: ස්වාමීන්වහන්සේ ඔබට පිහිට නොවනසේක් නම් මම කොතැනින් ඔබට පිහිටවෙම්ද? පාවරෙන්ද නොහොත් මිදි පැසෙන්දැයි කියා:
28ඔබට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: ඔබේ පුත්‍රයා අද අපට කන්ට දෙන්න, මගේ පුත්‍රයා හෙට අපි කන්නෙමුයයි මේ ස්ත්‍රී මට කීවාය.
29එසේ අපි මගේ පුතා උයා කෑවෙමුව. පසුවදා-ඔබේ පුත්‍රයා අපට කන්ට දෙන්නැයි ඈට කීවෙමි. නුමුත් ඇගේ පුත්‍රයා ඈ සඟවාගෙන ඉන්නවායයි කීවාය.
30එකල රජ පවුර පිට යමින් සිටියේය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචන අසා තමාගේ ඇඳුම් ඉරාගත්තේය. සෙනඟද බලා, ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනවා දුටුවෝය.
31එවිට ඔහු: ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන්වහන්සේ මටත් එසේමද ඊට වැඩියෙන්ද කරනසේක්වයි කීවේය.
32එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව ඔබ සැමට පෙනෙනවාද? ඔබ සැම බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය.
33ඔහු ඔවුන් සමඟ කථාකරද්දීම පණිවිඩකාරයා ඔහු ළඟට ආවේය. රජු කථාකොට: මේ නපුර ස්වාමීන්වහන්සේගෙන් ය; ස්වාමීන්වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වෙන්නේ මොකටදැයි කීවේය.