Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
19 verses
1ඉන්පසු අම්මොන් පුත්‍රයන්ගේ රජ මැරුණේය, ඔහුගේ පුත්‍රවූ හානුන් ඔහු වෙනුවට රජවුණේය.
2දාවිත්ද: හානුන්ගේ පියවූ නාහෂ් මට කරුණාව පෙන්වූ ලෙස මම හානුන්ට කරුණාව පෙන්වන්නෙමියි කියා, ඔහුගේ පියා ගැන ඔහු සනසන පිණිස තමාගේ සේවකයන් අත කියා ඇරියේය. දාවිත්ගේ සේවකයෝ අම්මොන් පුත්‍රයන්ගේ දේශයට පැමුණුණෝය.
3එහෙත් අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු තමුන්ගේ ස්වාමිවූ හානුන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙතට එව්වේ නුවර සෝදිසිකර ඔත්තු බලා ඒක විනාශකරන අදහසින් නොවේදැයි කීවෝය.
4එබැවින් හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා ඔවුන්ගේ රැවුලෙන් බාගයක් බූගා දමා, තට්ටම් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා, ඔවුන් යන්ට ඇරියේය.
5ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බවෙන්ට මිනිසුන් ඇරියේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පැමිණ සිටියෝය. ඔබ සැමගේ රැවුල් වැඩෙන කල් යෙරිකෝවෙහි නැවතී සිට පසුව හැරී එන්නැයි රජ කියා ඇරියේය.
6තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.
7දාවිත් ඒ අසා යෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවුවේය.
8අම්මොන් පුත්‍රයෝ පිටතට ඇවිත් දොරටුව ළඟ යුද්ධයට පිළිවෙළින් සිටියෝය; ශෝබාහිද රෙහෝබ්හිද ටෝබ්හිද මයකාහිද මනුෂ්‍යයොත් භූමියෙහි වෙනම සිටියෝය.
9ඉස්සරින්ද පස්සෙන්ද යුද්ධය තමාට විරුද්ධව යොදා තිබෙන බව යෝවාබ් දැක සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන්ගෙන් පංගුවක් තෝරාගෙන සිරියවරුන්ට විරුද්ධව සිටුවා,
10අනික් සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටුවන පිණිස ඔවුන් තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදී කථාකොට;
11සිරියවරුන් මට වඩා බලවත්වුණොත් ඔබ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් ඔබට වඩා බලවත්වුණොත් මම ඇවිත් ඔබට උපකාරකරන්නෙමි.
12ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය.
13මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්��ව සටනට ළංවූහ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.
14සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය.
15සිරියවරු තමුන් ඉශ්රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක එකට රැස්වූවෝය.
16හදර්එසෙර්ද ප්‍රාත් ගංගාවට එගොඩින් සිටිය සිරියවරුන් ගෙන්වාගත්තේය. ඔව්හුද ඔවුන්ට පෙරටුව හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝබාද හේලාම්ට ආවෝය.
17එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩවී හේලාම්ට ගියේය.
18සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝබාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය.
19එවිට හදර්එසෙර්ට සේවකයෝවූ සියලු රජවරු තමුන් ඉශ්රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක ඉශ්රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන්ට සේවයකළෝය. මෙසේ සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට භයවූහ.