Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
39 verses
1ඉන්පසු මෙසේ සිදුවිය. දාවිත්ගේ පුත්‍රවූ අබ්සලොම්ට තාමාර් නම්වූ රූපවත් සහෝදරියක් සිටියාය; දාවිත්ගේ පුත්‍රවූ අම්නොන් ඈට පෙම් බැන්දේය.
2අම්නොන් තමාගේ සහෝදරීවූ තාමර් නිසා අසනීපවෙන තරම් කනස්සලුව සිටියේය; මක්නිසාද ඈ කන්‍යාවක්ය; ඈට යමක් කරන්ට තමාට උගහට බවත් අම්නොන්ට පෙණුණේය.
3නුමුත් දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් නම්වූ මිත්‍රයෙක් අම්නොන්ට සිටියේය. යොනාදාබ් ඉතා උපා දක්ෂ මනුෂ්‍යයෙකි.
4ඔහු: රාජ පුත්‍රය, ඔබ දවසින් දවස මෙසේ කෘශවෙන්නේ මක්නිසාද? මට කියන්නේ නැද්දැයි ඔහුට කීය. එවිට අම්නොන්: මාගේ සහෝදරයා වන අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට ආලය ඇත්තෙමියි ඔහුට කීය.
5යොනාදාබ්ද: ඔබ ලෙඩින් ඉන්නාක්මෙන් ඔබේ යහනේ වැතිර හිඳ ඔබේ පියාණන් ඔබ බලන්ට ආකල ඔහුට කථාකොට-මාගේ සහෝදරීවූ තාමර් ඇවිත් මට කෑම දෙන්ටත් මට පෙනෙන ලෙස මා ඉදිරියෙහි කෑම පිළියෙළ කරන්ටත් ඇගේ අතින් මට එය කන්ටත් අවසර දුනමැනවියි ඔහුට කියන්නැයි කීවේය.
6මෙසේ අම්නොන් ලෙඩින් ඉන්නාක්මෙන් වැතිර උන්නේය. රජු අම්නොන් බලන්ට ආ කල ඔහු රජුට කථාකොට: මා විසින් මාගේ සහෝදරීවූ තාමාර්ගේ අතින් කන පිණිස ඈ මාගේ ඇස් ඉදිරියේදී රොටි දෙකක් සාදාවයි කීවේය.
7එවිට දාවිත්: ඔබේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගොස් ඔහුට කෑම සාදා දෙන්නැයි ගෙදර උන් තාමර්ට කියා යැවීය.
8එවිට තාමර් ඇගේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගියාය; ඔහු නිදා සිටියේය. ඈ පිටි රැගෙන අනා ඔහුගේ ඇස් ඉදිරියේදී රොටි සාදා
9පුලුස්සා ඇතිලිය ගෙනැවිත් ඔහු ඉදිරියෙහි ඒවා හෙළුවාය; එහෙත් ඔහු කන්ට කැමතිවුණේ නැත. අම්නොන්: හැමදෙනාම මා වෙතින් පිටතට යන්නැයි කීය. සියලු දෙනාම ඔහු වෙතින් පිටතට ගියෝය.
10අම්නොන්: මා ඔබේ අතින් කන පිණිස කෑම ඇතුල්ගෙට ගෙනෙන්නැයි තාමර්ට කීවේය. තාමර්ද ඈ සෑදූ රොටි රැගෙන ඇතුල් ගෙයි උන් ඇගේ සහෝදරවූ අම්නොන් ළඟට ගෙනගියාය.
11ඒවා ඔහුට කන්ට ළඟට ගෙනගිය විට ඔහු ඈ අල්වා: මාගේ සහෝදරිය, ඇවිත් මා සමඟ සයනය කරන්නැයි ඈට කීවේය.
12එවිට ඈ: මාගේ සහෝදරය, එසේ නොවේවා, මට අවනම්බු නොකරන්න; ඉශ්රායෙල්හි එබඳු දෙයක් කරන්ට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න.
13එසේ කළොත් මම මාගේ නින්දාව කොතැනට ගෙනයම්ද? ඔබත් ඉශ්රායෙල්හි නින්දිතයන්ගෙන් එක්කෙනෙකු මෙන් වන්නෙහිය. ඉන්නිසා රජ්ජුරුවන්ට කථාකරන්න; ඔහු මා ඔබට නොදී සිටින්නේ නැ���ැයි කීවාය.
14නුමුත් ඔහු ඇගේ හඬට කන්නොදී ඈට වඩා ශක්තිමත් බැවින් ඈට බලාත්කාරකොට ඈ සමඟ සයනයකෙළේය.
15එවිට අම්නොන් ඉතා මහත් වෛරයකින් ඈට වෛරවුණේය; මක්නිසාද ඔහු ඈට වුණාවූ වෛරය පළමු ඈට බැන්දාවූ ආලයට වඩා මහත්ව තිබුණේය. නැගිට යන්නැයි අම්නොන් ඈට කීය.
16එසේ නොකරන්න, මා යන්ට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත්යයි ඈ ඔහුට කීවාය.
17නුමුත් ඔහු ඈටඇහුම්කන් නොදී තමාට සේවයකළ වැඩකාරයාට අඬ ගසා: මේ ස්ත්‍රිය මා ළඟින් පිටත ඇර දොර අගුල්ලන්නැයි කීවේය.
18ඈ නානා වර්ණ වස්ත්‍රයක් ඇඳගෙන සිටියාය. මක්නිසාද රජුගේ කන්‍යා දූවරු එබඳු සළු ඇන්දෝය. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර දොරේ අගුළුදැමුවේය.
19එවිට තාමර් තමාගේ හිසේ අලු දමාගන, ඇඳගන සිටිය නානා වර්ණ. වස්ත්‍රය ඉරාගන, හිසේ අත තබාගන, කෑගසමින් ගියාය.
20ඇගේ සහෝදරවූ අබ්සලොම් ඈට කථාකොට: ඔබේ සහෝදරවූ අම්නොන් ඔබ සමඟ උන්නාද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්දව හිඳින්න. ඔහු ඔබේ සහෝදරයාය; මේ කාරණය සිතට නොගනින්නැයි ඈට කීවේය. තාමර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙයි අසරණ භාවයෙන් විසුවාය.
21දාවිත් රජ මේ සියලු දේ අසා ඉතා උදහස් විය.
22නුමුත් අබ්සලොම් අම්නොන්ට හොඳක්වත් නරකක්වත් කථා නොකෙළේය. මක්නිසාද තමාගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බු කළ බැවින් අබ්සලොම් ඔහුට වෛර බැන්දේය.
23මීට පුරා දෑවුරුද්දකට පසු එප්‍රායිම්ට නුදුරුවූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූවෝය. අබ්සලොම් සියලු රාජ පුත්‍රයන් කැඳෙවුවේය.
24ඔහු රජු වෙතට ඇවිත් කථාකොට: ඔබගේ මෙහෙකරුවාට බැටළුලොම් කපන්නෝ සිටිති; ඉතින් රජුද තමන්ගේ සේවකයන්ද ඔබගේ මෙහෙකරුවා සමඟ අවමැනවියි කීවේය.
25රජද: නෑ, මාගේ පුත්‍රය, අපි සියල්ලෝම නොඑන්නෙමුව, ආවොත් ඔබට බරක් වේයයි අබ්සලොම්ට කීවේය. ඔහු පෙරැත්තකළ නුමුත් ඔහු යන්ට කැමති නොවීය, නුමුත් ඔහුට ආශීර්වාදකෙළේය.
26එකල අබ්සලොම්: එසේ නම් මාගේ සහෝදරවූ අම්නොන්ට අප සමඟ යන්ට අවසර ලැබේවයි කීවේය. ඔහු ඔබ සමඟ යන්නේ කුමටදැයි රජ ඇසුවේය.
27නුමුත් අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළේය, එවිට ඔහු අම්නොන්ද රජුගේ සියලු පුත්‍රයන්ද ඔහු සමඟ යන්ට ඉඩදුන්නේය.
28අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: මෙන්න, බලන්න, අම්නොන්ගේ සිත මුද්‍රික පානයෙන් ප්‍රීතිවී තිබෙන විට-අම්නොන්ට පහරදෙන්නැයි මා ඔබ සැමට කීවාම ඔහු මරන්න, භයනොවෙන්න. ඔබ සැමට අණකෙළේ මම නොවෙම්ද? ධෛර්යවත්ව වික්‍රමාන්විතව සිටින්නැයි කීවේය.
29අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණකළ ලෙස අම්නොන්ට කළෝය. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැගිට තම තමුන්ගේ අශ්වතරයන් පිට නැගී පලාගියෝය.
30ඔවුන් මාර්ගයෙහි යද්දී: අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් මැරුවේය, එක්කෙනෙක්වත් ඉතුරුව නැත කියා දාවිත්ට සැලවිය.
31එවිට රජ නැගිට තමාගේ වස්ත්‍ර ඉරාගෙන බිම වැතුරුණේය; ඔහුගේ සියලු සේවකයෝද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන ළඟ සිටියෝය.
32තවද දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් කථාකොට: රජුගේ පුත්‍රයන් වන ඒ යෞවනයන් සියල්ලන්ම ඔව්හු මැරුවෝයයි මාගේ ස්වාමියා නොසිතාවා; අම්නොන් පමණක් මළේය. මක්නිසාද අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බුකළදා පටන් අබ්සලොම් විසින් එය නියමකර තිබුණේය.
33ඒ නිසා සියලු රාජ පුත්‍රයෝ මළෝයයි සිතන හැටියට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කාරණය සිතට නොගතමැනවි. අම්නොන් පමණක් මළේයයි කීවේය.
34එහෙත් අබ්සලොම් පලාගියේය. රැකවලෙහි සිටි යෞවනයා තමාගේ ඇස් ඔසවා බැලූවිට මහත් සෙනඟක් කන්දේ පැත්තකින් තමා පිටිපස්සේ තිබුණ මාර්ගයෙහි එනවා දුටුවේය.
35යොනාදාබ් රජුට කථාකොට: අන්න රාජ පුත්‍රයෝ එන්නාහ. ඔබගේ මෙහෙකරුවා කී ලෙසම සිද්ධවී තිබේයයි කීවේය.
36තවද ඔහු කථාකොට නිමවූ විට රාජ පුත්‍රයෝ ඇවිත් ශබ්දනගා ඇඬුවෝය. රජද ඔහුගේ සියලු සේවකයෝද අතිශයින් ඇඬුවෝය.
37අබ්සලොම් ගෙෂූර්හි රජවූ අම්මිහුද්ගේ පුත්‍රවූ තල්මයි වෙතට පලාගියේය. දාවිත් තමාගේ පුත්‍රයා ගැන හැමදාම වැලපුණේය.
38මෙසේ අබ්සලොම් ගෙෂූර්ට පලාගොස් එහි තුන් අවුරුද්දක් සිටියේය.
39අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් රජ සැනසී සිටි බැවින් ඔහු අබ්සලොම් ළඟට යන්ට ඉතා ආශාවිය.