Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
27 verses
1මෙසේ පෙස්තුස් තෙමේ ඒ පළාතට පැමිණි කල තුන් දවසකට පසු කායිසාරියේ සිට යෙරුසලමට ගියේය.
2නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ ප්‍රධානීහුද පාවුල්ට විරුද්ධව පෙස්තුස්ට දැනුම්දී,
3ඔවුන්ට කරුණාවක් වශයෙන් ඔහු යෙරුසලමට යවන ලෙස පෙස්තුස්ගෙන් ඉල්ලුවෝය. එසේ කළේ ඔවුන් මාර්ගයේ රැකසිට ඔහුව මරන පිණිසය.
4නුමුත් පෙස්තුස් උත්තරදෙමින්: පාවුල් කායිසාරියෙහි හිරබාරේ සිටින බවත් තමාද ඉක්මනින් එහි යන්ට ඉන්න බවත් කීවේය.
5එහෙයින් නුඹලා අතරෙහි වැදගත් අය මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් දෝෂයක් ඇත්නම් ඔහුට වරද තබත්වයි කීවේය.
6ඔහු ඔවුන් අතරෙහි දවස් අටකට නොහොත් දහයකට වඩා ප්‍රමාද නොවී කායිසාරියට ගොස්, පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුල් ගෙනෙන්ට අණකෙළේය.
7ඔහු ආ කල, යෙරුසලමෙන් ඇවිත් සිටි යුදෙව්වරු පාවුල් වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පුකළ නොහැකිවූ බරපතළවූ බොහෝ පැමිණිලි කළෝය.
8පාවුල් තමාගේ නිදහසට උත්තරදෙමින්: මම යුදව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමියි කීවේය.
9නුමුත් පෙස්තුස් යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල්ට උත්තරදෙමින්: නුඹ යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන මා ඉදිරියෙහි විනිශ්චයකරනු ලබන්ට කැමැත්තෙහිදැයි ඇසුවේය.
10නුමුත් පාවුල්: මම කායිසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මෙහිදී මා විනිශ්චයකරන්ට යුතුය. යුදෙව්වරුන්ට මා විසින් කිසි වරදක් කළේ නැත, ඒ බව ඔබටත් හොඳාකාර පෙනීයන්නේය.
11ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු කිසිවක් කෙළෙම් නම්, මරණය නොලබන ලෙසට නොඉල්ලමි. නුමුත් මොවුන් මට තබන වරදවලින් එකක්වත් සැබෑ නොවේ නම්, මා ඔවුන්ට පාවාදෙන්ට කිසිවෙකුට බැරිය. මම කායිසර්ගේ විනිශ්චය ඉල්ලමියී කීවේය.
12එවිට පෙස්තුස් මන්ත්‍රණ සභාව සමඟ කථාකොට: නුඹ කායිසර්ගේ විනිශ්චය ඉල්ලුවෙහිය. කායිසර් ළඟට යන්නෙහියයි උත්තරදුන්නේය.
13කීප දවසකට පසු අග්‍රිපා රජද බර්නීකිද කායිසාරියට ඇවිත් පෙස්තුස්ට ආචාරකළෝය.
14ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටියදී පෙස්තුස් පාවුල්ගේ කාරණය රජුට දන්වමින්: පීලික්ස් නිදහස් නොකර ගිය එක් හිරකාරයෙක් සිටියි.
15මා යෙරුසලමට ගිය විට නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු ගැන මට දන්වමින්, ඔහුට විරුද්ධව විනිශ්චය ඉල්ලුවෝය.
16මම ඔවුන්ට උත්තරදෙමින්: යම් වරද තබනු ලැබූවෙකු ඉදිරියට වරද තබන්නන් ගෙන්වා වරද ගැන උත්තරදීමට ඔහුට ඉඩදෙන්ට පළමුවෙන් ඔහු පාවාදීම රෝමයන්ගේ සිරිතක් නොවේයයි කීවෙමි.
17එහෙයින් ඔවුන් මෙහි රැස්වූ කල, මම ප්‍රමාදයක් නොකොට පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මනුෂ්‍යයා ගෙනෙන්ට අණකෙළෙමි.
18වරද තබන්නන් නැගිට සිටි විට මා සිතූ දේවල් ගැන කිසි වරදක් නොතබා,
19තමුන්ගේ ආගම ගැනද ජීවත්ව සිටිනසේකැයි පාවුල් කියා සිටි යේසුස් නම් මළාවූ කෙනෙකු ගැනද ඔහුට විරුද්ධව සමහර වාද කාරණා ඔවුන්ට තිබුණේය.
20මේ දේවල් ගැන විභාගකරන්නේ කෙසේදැයි වියවුල්වූ මම වනාහි, ඔහු යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන විනිශ්චයකරනු ලබන්ට කැමතිදැයි ඔහුගෙන් ඇසුවෙමි.
21නුමුත් අධිරාජතුමාගේ තීරණයට නඩුව නවත්වාගන්න මෙන් පාවුල් ඉල්ලූ කල, ඔහු කායිසර් ළඟට යවන තුරු රැකවල්කර තබන්ට මම අණකෙළෙමියි කීවේය.
22එවිට අග්‍රිපා: මමත් ඒ මනුෂ්‍යයා කථාකරනවා අසන්ට කැමැත්තෙමියි පෙස්තුස්ට කීවේය. හෙට ඔබට අසන්ට ලැබේයයි ඔහු කීවේය.
23එසේ පසුවදා අග්‍රිපාද බර්නීකිද මහත් පෙරහැරකින් ඇවිත් ප්‍රධාන සේනාපතීන් සහ නුවර ප්‍රධාන මනුෂ්‍යයන් සමඟ නඩුශාලාවට පැමිණි කල, පෙස්තුස්ගේ ආඥාවෙන් පාවුල් ගෙන්වන ලද්දේය.
24පෙස්තුස් කථාකොට: අග්‍රියා රජ්ජුරුවනි, මෙහි අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු තවත් ජීවත්ව සිටින්ට නොවටනේයයි මොරගසමින් මුළු යුදෙව් සමූහයා යමෙකු ගැන යෙරුසලමේදීත් මෙහිදීත් මට පැමිණිලිකළෝද ඒ මනුෂ්‍යයා මෙහි දක්නහුය.
25නුමුත් මරණයට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනුණේය. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කෙළෙමි.
26ඔහු ගැන මාගේ ස්වාමීන්ට ලියා ඇරීමට යමක් මට ලැබෙන පිණිස නුඹලා ඉදිරියටද ප්‍රධානකොට, අග්‍රිපා රජ්ජුරුවනි, ඔබ ඉදිරියටද ඔහු ගෙනාවෙමි.
27මක්නිසාද හිරකාරයාට විරුද්ධව ගෙනා පැමිණිලි නොදන්වා ඔහු යැවීම අනුවණ දෙයක් බව මට පෙනේයයි කීවේය.