Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
21 verses
1යුදාහි රජවූ යෙහෝයාකීම්ගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් රජ යෙරුසලමට ඇවිත් ඒක වටලා ගත්තේය.
2ස්වාමීන්වහන්සේද යුදාහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට දුන්සේක; ඔහු ඒවා ෂීනාර් දේශයේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනැවිත්, ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබුයේය.
3රජ තමාගේ නපුංසකයන්ගේ ප්‍රධානියාවූ අෂ්පෙනස්ට කථාකොට, ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙන් රාජ වංශයෙන්ද උත්තමයන්ගෙන්ද කැලලක් නැත්තාවූ,
4ශෝභමානවූ, සකල ශාස්ත්‍ර දැනුම් ඇත්තාවූ, දැනගැන්මද ඥානයද ඇත්තාවූ, රජුගේ මාළිගාවෙහි සිටින්ට පුළුවන්කම ඇත්තාවූ යෞවනයන් ගෙන්වාගන, කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත් උගන්වන්ට කීවේය.
5රජතෙමේ ඔවුන්ට තමාගේ භෝජනවලින්ද තමා බොන මුද්‍රිකපානයෙන්ද දවස්පතා කොටසක් නියමකොට, ඊට පසු ඔවුන් රජු ඉදිරියෙහි සිටින පිණිස තුන් අවුරුද්දක් ඔවුන් පෝෂ්‍යකරන්ට අණකෙළේය.
6ඔවුන් අතරේ යුදා පුත්‍රයන්ගෙන් දානියෙල්ද හනනියාද මීෂායෙල්ද අසරියාද වූවෝය.
7නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය.
8එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය.
9දෙවියන්වහන්සේ දානියෙල්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්ට සැලැස්වූසේක.
10නපුංසකයන්ගේ අධිපතියා දානියෙල්ට කථාකොට: නුඹලාගේ කෑමද බීමද නියමකළ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට භයවෙමි. නුඹලාගේ වයසේ යෞවනයන්ට වඩා නුඹලාගේ මුහුණු මලානිකව තිබෙනවා ඔහු දකින්නේ මක්නිසාද? එසේ නුඹලා නිසා මාගේ හිස රජු ඉදිරියෙහි උපද්‍රවයට පැමිණේයයි කීවේය.
11එකල දානියෙල්ද හනනියාද මීෂායෙල්ද අසරියාද කෙරෙහි නපුංසකයන්ගේ අධිපතියා විසින් පත්කළ ගබඩාකාරයාට දානියෙල් කථාකොට:
12නුඹේ මෙහෙකරුවන් දස දවසක් පරීක්ෂාකර බලන ලෙස ඉල්ලමි; කන්ට එලවලුද බොන්ට වතුරද අපට ලැබේවා.
13පසුව අපේ පෙනීමද රජුගේ භෝජන කන්නාවූ යෞවනයන්ගේ පෙනීමද නුඹ බලා, නුඹට පෙනෙන හැටියට නුඹේ මෙහෙකරුවන්ට කළ මැනවියි කීවේය.
14ඒ කාරණය ගැන ඔහු ඔවුන්ට ඇහුම්කන්දී, දස දවසක් ඔවුන් පරීක්ෂාකර බැලුවේය.
15දස දවසකට පසු රජුගේ භෝජනයෙන් කෑවාවූ සියලු යෞවනයන්ට වඩා ඔව්හු පෙනීමෙන් හොඳව, මාංසයෙන් තරව සිට���යෝය.
16එවිට ගබඩාකාරයා ඔවුන්ගේ නියම භෝජනද ඔවුන්ට බොන්ට තිබුණු මුද්‍රිකපානයද අහක්කර, එලවලු ඔවුන්ට දුන්නේය.
17මේ යෞවනයන් සතරදෙනාට නම් දෙවියන්වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද දුන් සේක. දානියෙල්ට සියලු දර්ශනද ස්වප්නද සම්බන්ධ තේරුම තිබුණේය.
18ඔවුන් කැඳවාගන එන්ට රජු නියම කළ කාලය පැමුණුණු විට, නපුංසකයන්ගේ අධිපතියා නෙබුකද්නෙශර් ඉදිරියට ඔවුන් කැඳවාගන ආවේය.
19රජ ඔවුන් සමඟ කථාකෙළේය. ඔවුන් සියල්ලන් අතරේ දානියෙල්ටත් හනනියාටත් මීෂායෙල්ටත් අසරියාටත් සමානවූ කිසිවෙක් සම්බ නොවීය. ඔව්හු රජු ඉදිරියෙහි සිටියෝය.
20රජු විසින් ශාස්ත්රයත් නුවණත් සම්බන්ධ මොන කාරණයක් ඔවුන්ගෙන් විභාගකළත්, තමාගේ මුළු රාජ්‍යයෙහි සිටි සියලු මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් වඩා ඔවුන් දස ගුණයක් සමර්ථ බව ඔහුට පෙනී ගියේය.
21දානියෙල් වනාහි කෝරෙෂ් රජුගේ පළමුවෙනි අවුරුද්ද දක්වා සිටියේය.