Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
46 verses
1යොර්දානෙන් එගොඩ කාන්තාරයෙහි පාරාන්ද තොඵෙල්ද ලාබාන්ද හශේරොත්ද දී-සාහාබ්ද අතරේ සූඒ ඉදිරිපිට අරබා සමභූමියේදී මෝසෙස් විසින් සියලු ඉශ්රායෙල්වරුන්ට කියනලද වචන මේවාය.
2හොරේබ් සිට කාදෙෂ්-බර්නේයට සෙයිර් කඳුකර මාර්ගයෙන් එකොළොස් දවසක ගමන් දුරය.
3ඉශ්රායෙල් පුත්‍රයන්ට කියන්ට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔහු සතළිස්වෙනි අවුරුද්දේ එකොළොස්වෙනි මාසයේ පළමුවෙනි දින ඔවුන්ට කීවේය.
4හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,
5යොර්දානෙන් එගොඩ මෝවබ් දේශයේදී මෝසෙස් මේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්ට පටන්ගෙන මෙසේ කීවේය.
6අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හොරේබ්හිදී අපට කථාකොට: ඔබ සැම මේ කන්දේ විසූ කාලය ඇත.
7හැරී ගමන්කොට අමෝරිවරුන්ගේ කඳුකරයටද ඊට ළංවූ අරබා සම භූමියෙත් කඳුකරයෙහිත් පාතරටෙහිත් දකුණු දිසාවෙත් කානානිවරුන්ගේ දේශය වන මුහුදුබඩත් සියලු තැන්වලටද ලෙබනොන්ටද මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වාද යන්න.
8බලව, මම දේශය ඔබ සැම ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව ඔබ සැමගේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසු ඔවුන්ගේ වංශයටද දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ දේශය හිමිකරගන්නැයි කීසේක.
9මම ඒ කාලයේදී ඔබට කථාකොට: තනියම ඔබ සැම දරන්ට නොහැක්කෙමි.
10ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම වැඩිකළසේක, ඔබ සැම දැන් ගණනින් අහසේ තාරකා මෙන්ය.
11ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම දැන් සිටිනවාටත් වඩා දහස් ගුණයක් වැඩිකොට උන්වහන්සේ පොරොන්දුවුණු ලෙස ඔබ සැමට ආශීර්වාදකරනසේක්වා!
12මම වනාහි තනියම ඔබ සැමගෙන් පැමිණෙන වෙහෙසත් බරත් ඔබ සැමගේ විවාදත් කෙසේ දරම්ද?
13ප්‍රඥාවන්තවූ බුද්ධිමත්වූ අඳුනන මනුෂ්‍යයන් ඔබ සැමගේ ගෝත්‍ර ප්‍රකාරයට තෝරාගන්න. මම ඔවුන් ඔබ සැම කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නෙමියි කීයෙමි.
14ඔබ සැම මට උත්තරදෙමින්: ඔබ කී දේ කිරීම අපට යහපතැයි කීවහුය.
15එහෙයින් මම ප්‍රඥාවන්තවූ අඳුනන්නාවූ ම��ුෂ්යයන් වන ඔබ සැමගේ ගෝත්‍රවල ප්‍රධානීන් ගෙන සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද ඔබ සැමගේ ගෝත්‍රවලට මුලාදෑනීන්ද වශයෙන් ඔවුන් ඔබ සැම කෙරෙහි ප්‍රධානීන් කොට පත්කෙළෙමි.
16මම ඒ කාලයේදී ඔබ සැමගේ විනිශ්චයකාරයන්ට අණකරමින්: ඔබ සැමගේ සහෝදරයන් අතරේ නඩු අසා මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද ඔහු සමඟ සිටින විදේශියාද අතරේ දැහැමින් විනිශ්චයකරන්න.
17විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. ඔබ සැමට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.
18ඒ කාලයේදී ඔබ සැම විසින් කළ යුතු සියලු දේ ගැනත් ඔබ සැමට අණකෙළෙමි.
19අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ ලෙස අපි හොරේබ්හි සිට ගමන් ගෙන අමෝරිවරුන්ගේ කඳුකරයට යන මාර්ගයෙන් ඔබ සැම දුටු ඒ මහත්වූ භයංකරවූ මුළු කාන්තාරය මැදින් ගොස් කාදෙෂ්-බර්නේයට පැමිණියෙමු.
20මමද ඔබ සැමට කථාකොට: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ සැම අවුත් සිටින්නහුය.
21බලව, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය ඔබ ඉදිරිපිට තබා තිබේ. ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය ඔබ ඉදිරිපිට තබා තිබේ. ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කීලෙස නැගීගොස් හිමිකරගන්න; භයනොවන්න, නොකැලඹෙන්නැයි කීයෙමි.
22ඔබ සැම සියල්ලෝද මා ළඟට අවුත්: අප උදෙසා දේශය සෝදිසිකරන පිණිසත් අප විසින් යා යුතු මාර්ගයද පැමිණිය යුතු නුවරවල්ද ගැන හැරී ඇවිත් අපට දන්වන පිණිසත් අපට පෙරටුව මනුෂ්‍යයන් යවමුයයි කීවහුය.
23ඒ කාරණය මටත් හොඳව පෙනුණේය. මම ගෝත්‍රයකට එක්කෙනෙකු බැගින් ඔබ සැමගෙන් මිනිසුන් දොළොස්දෙනෙකු ගතිමි.
24ඔව්හු පිටත්වී කන්දට නැගී එෂ්කොල් මිටියාවත දක්වා ගොස් ඒක සෝදිසිකළෝය.
25ඔව්හු දේශයේ ඵලවලින් ස්වල්පයක් තමුන්ගේ අත්වල රැගෙන අප ළඟට බැස අවුත්: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන දේශය හොඳය කියා අපට දැන්වූහ.
26එසේවීනුමුත් ඔබ සැම යන්ට නොකැමැතිව ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගසා,
27ඔබ සැමගේ කූඩාරම්වල සිට කොඳුරමින්: ස්වාමීන්වහන්සේ අපට වෛරවූ බැවින් අප විනාශකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට මිසර දේශයෙන් අප ගෙනාසේක.
28අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.
29එකල්හි මම ඔබ සැමට කථාකොට: තැති නොගන්න, ඔවුන් ගැන භයනොවන්න.
30ඔබ සැමට පෙරටුව යන්නාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද ඔබ සැමගේ ඇස් හමුයෙහි ඔබ සැම උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම ඔබ සැම උදෙසා යුද්ධකරනවා ඇත.
31මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන් ඔබ සැම මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවාවූ මුළු මාර්ගයෙහිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ උසුලා ගෙනා බව ඔබ දැකලා තිබේ.
32එහෙත් ඔබ සැම යා යුතු මාර්ගය රාත්‍රියෙහි ගින්නෙන්ද දවාලේ වලාකුළෙන්ද ඔබ සැමට පෙන්වමින්, ඔබ සැමට කූඩාරම් ගසාගන්ට ස්ථානයක් සොයාදෙන පිණිස මාර්ගයෙහි ඔබ සැමට පෙරටුව ගියාවූ,
33ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම මේ කාරණයේදී විශ්වාසකළේ නැත.
34ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ වචනවල හඬ අසා උදහස්ව:
35සැබවින් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් හැර මේ නපුරු පරම්පරාවේ මේ මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක්වත් මා විසින් ඔබ සැමගේ පියවරුන්ට දෙන ලෙස දිවුළ ඒ යහපත් දේශය නොදක්නේය;
36කාලෙබ් වනාහි ඒක දකින්නේය; ඔහු සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගිය බැවින් ඔහු පය ගැසූ දේශය ඔහුටත් ඔහුගේ දරුවන්ටත් දෙන්නෙමියි කියා දිවුළසේක.
37තවද ස්වාමීන්වහන්සේ ඔබ සැම නිසා මටත් උදහස්ව කථාකොට: ඔබත් එහි ඇතුල් නොවන්නෙහිය.
38ඔබ ඉදිරිපිට සිටින නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එහි ඇතුල්වන්නේය. ඔහු ශක්තිමත්කරන්න; මක්නිසාද ඒක ඉශ්රායෙල්වරුන්ට උරුමකරදෙන්ට සිටින්නේ ඔහුය.
39තවද කොල්ලයක් වන්නෝයයි ඔබ සැම විසින් කීවාවූ ඔබ සැමගේ බාලයෝද අද යහපතවත් අයහපතවත් නොදැන සිටින ඔබ සැමගේ දරුවෝද එහි ඇතුල්වන්නෝය, ඔවුන්ට මම ඒක දෙන්නෙමි, ඔව්හු ඒක හිමිකර ගන්නෝය.
40ඔබ සැම වනාහි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කරන්න යයි කීසේක.
41එවිට ඔබ සැම උත්තරදෙමින්: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළමුව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ සියල්ල ලෙස අපි ගොස් සටන්කරන්නෙමුයයි මට කියා ඔබ සැම එකිනෙකා තමතමාගේ යුද්ධායුධ බැඳගෙන අහංකාරයෙන් කන්දට නැගීයන්ට සෑදී සිටියහුය.
42නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ සැමගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න, සටන් නොකරන්න; මක්නිසාද මම ඔබ සැම අතරෙහි නොසිටිමියි කියා ඔවුන්ට කියන්නැයි කීසේක.
43මම ඔබ සැමට එසේ කීමි, එහෙත් ඔබ සැම නොඅසා ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළිගසා හිතුවක්කාරකමින් කන්දට නැගී ගියහුය.
44එවිට ඒ කන්දේ විසූ අමෝරිවරු ඔබ සැමට විරුද්ධව පිටත්ව අවුත් මීමැස්සන් කරන්නාක් මෙන් ඔබ සැම එළවාදමා සේයිර්හිදී හොර්මා දක්වාම ඔබ සැමට පහරදුන්නෝය.
45ඔබ සැම හැරී ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඇඬුවහුය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ හඬ ඇසුවේවත් ඔබ සැමගේ බසට ඇහුම්කන්දුන්නේවත් නැත.
46මෙසේ ඔබ සැම කාදෙෂ්හි නැවතුණු දවස් ලෙස බොහෝ දවස් එහි වාසය කළහුය.