Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
32 verses
1එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ නියමයන්ද පනත්ද විනිශ්චයන්ද ආඥාද නිතර පවත්වන්න.
2මා අද දවසේ කථාකරන්නේ ඔබ සැමගේ දරුවන් සමඟ නොවන බව දැනගන්න. ඔවුන් වනාහි ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ දඬුවමද උන්වහන්සේගේ මහන්තත්ත්වයද බලවත් හස්තයද දිගුකළ බාහුවද,
3උන්වහන්සේ මිසරය මැදදී මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ මුළු දේශයටත් දැක්වූ ලකුණුද ක්‍රියාවන්ද,
4උන්වහන්සේ මිසරයේ යුද්ධ සේනාව සහ ඔවුන්ගේ අශ්වයන්ටත් රථවලටත් කළ දෙය එනම් ඔවුන් ඔබ සැම ලුහුබැඳ එද්දී උන්වහන්සේ රතු මුහුදේ වතුර ඔවුන් පිටට පමුණුවා අද දවස දක්වා ස්වාමීන්වහන්සේ ඔවුන් විනාශ කළ හැටිද,
5ඔබ සැම මෙතැනට එන තෙක් උන්වහන්සේ කාන්තාරයේදී ඔබ සැමට කළ දෙයද,
6උන්වහන්සේ රූබෙන්ගේ පුත්‍රයා වන එලියාබ්ගේ පුත්‍රයන්වූ දාතාන් සහ අබිරාම්ට කළ දෙය එනම් පොළොව ඇගේ මුඛය ඇර ඔවුන් සහ ඔවුන්ගේ පවුල්ද කූඩාරම්ද ඔවුන් අනුව ගිය පණ ඇති සියල්ලන්ද මුළු ඉශ්රායෙල් මධ්‍යයෙහි ගිලගත් හැටිද දන්නේවත් දුටුවේවත් නැත.
7නුමුත් ඔබ සැම ස්වාමීන්වහන්සේ කළාවූ සියලු මහත් ක්‍රියා ඔබ සැමගේ ඇස්වලින් දුටුවහුය.
8එබැවින් ඔබ සැම ශක්තිමත්ව සිට ඔබ සැම විසින් හිමිකර ගැනීමට එතරව යන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිසද,
9ඔබ සැමගේ පියවරුන්ටත් ඔවුන්ගේ වංශයටත් දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළාවූ කිරි හා මීපැණි ගලායන්නාවූ දේශය මතුපිට ඔබ සැමගේ දවස් වැඩිකර ගන්නා පිණිසද මා විසින් අද ඔබ සැමට අණකරන මුළු ආඥාව පවත්වන්න.
10මක්නිසාද ඔබ සැම හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය ඔබ සැම පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නාවූ මිසර දේශය මෙන් නොවේ.
11නුමුත් ඔබ සැම විසින් හිමිකරගැනීමට එතරව යන දේශය හෙල්වලින් හා මිටියාවත්වලින් යුක්තවූ, අහසෙන් වෑස්සෙන වතුර උරාගන්නාවූ දේශයක්ය;
12ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලා සලකන්නාවූ දේශයක්ය. අවුරුද්ද පටන්ගැන්මේ සිට අවුරුද්ද අන්තිමය දක්වා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් නිරන්තරයෙන් එය කෙරෙහි යොමුවී තිබේ.
13ඉදි���් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැම ප්‍රේමකොට ඔබ සැමගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද ඔබ සැමට අණකරන මාගේ අණට ඔබ සැම ඇත්තටම කීකරුවුණොත්,
14ඔබේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට ඔබ සැමගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි.
15ඔබ කා තෘප්තියට පැමිණෙන පිණිස සිව්පාවුන්ට ඔබේ පිට්ටනිවල තණකොළ හටගන්වා දෙන්නෙමි.
16ඔබ සැමගේ සිත් රැවටී, ඔබ සැම අහක්ව ගොස්, අන් දෙවිවරුන්ට සේවයකරමින් නමස්කාර නොකරන හැටියට බලාගන්න.
17එසේ කළොත් ස්වාමීන්වහන්සේගේ උදහස ඔබ සැමට විරුද්ධව ඇවිළ, වැසි නොවසින ලෙසද භූමියේ අස්වැන්න හටනොගන්නා ලෙසද උන්වහන්සේ අහස පියවා ඇත; ඔබ සැමද ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන්නාවූ ඒ හොඳ දේශය මතුපිටින් ඉක්මනින් නැතිවී යනවා ඇත.
18එබැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දේශයෙහි ඔබ සැමගේ දවස්ද ඔබ සැමගේ දරුවන්ගේ දවස්ද පොළොවට ඉහළින්වූ අහස පවත්නා දවස් මෙන් වැඩිවෙන පිණිස,
19ඔබ සැම මාගේ මේ වචන ඔබ සැමගේ සිතෙහිද ආත්මයෙහිද තබාගෙන, ඒවා ඔබ සැමගේ අත්වල ලකුණක් පිණිස බැඳ, ඔබ සැමගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගන්න.
20ඔබ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් ඔබ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා ඔබ සැමගේ දරුවන්ට උගන්වන්න.
21ඒවා ඔබේ ගෙයි උළුවහුද ඔබේ දොරවල්ද පිට ලියන්න.
22මක්නිසාද මා ඔබ සැමට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන ලෙස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැම ප්‍රේමකොට උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට ඇලුම්ව සිටින ලෙස ඔබ සැම ඇත්තටම එය පවත්වනවා නම්,
23ස්වාමීන්වහන්සේ මේ සියලු ජාතීන් ඔබ සැම ඉදිරියෙන් පන්නාදමනවා ඇත, ඔබ සැමද ඔබ සැමට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත.
24ඔබ සැමගේ පා තබන සියලු තැන් ඔබ සැමට වන්නේය. ඔබ සැමගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පශ්චිම මුහුද දක්වාම වන්නේය.
25ඔබ සැමට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නොහැකි වන්නේය. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔබ සැම නිසා ඇතිවන්නාවූ භයද තැතිගැන්මද උන්වහන්සේ ඔබ සැම පය තබන මුළු දේශය පිට තබනවා ඇත.
26මම අද ඔබ සැම ඉදිරියෙහි ආශීර්වාදයක් ශාපයක්ද තබමි;
27ආශීර්වාදය වන්නේ මා අද ඔබ සැමට අණකරන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට ඔබ සැම කීකරුවුණොත්ය.
28ශාපය වන්නේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරු නොවී, ඔබ සැම නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් අද ඔබ සැමට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය.
29තවද ඔබ හිමිකරගන්ට ඇතුල්වෙන දේශයට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පැමිණෙවු කල්හි ගෙරිසීම් කන්ද පිට ආශීර්වාදයද ඒබාල් කන්ද පිට ශාපයද තබන්න. 11:29 නොහොත්, ප්‍රකාශකරන්න.
30ඒවා යොර්දානෙන් එතර බස්නාහිර පාරට එහායින් අරබා සමභූමියෙහි වාසයකරන කානානිවරුන්ගේ රටෙහි ගිල්ගාල් ඉදිරිපිටවූ මොරේගේ ආලොන් ගස් ළඟ තිබෙනවා නොවේද?
31ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන දේශයට ඇතුල්වී එය හිමිකරගන්න පිණිස ඔබ සැම යොර්දානෙන් එතරට යන්ට සිටිනහුය, ඔබ සැම ඒක හිමිකරගෙන එහි වාසය කරන්නහුය.
32මා විසින් අද ඔබ සැම ඉදිරියෙහි තබන සියලු පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්ට බලාගන්න.