Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1ලෙවීවරුන්වූ පූජකයන්ටද ලෙවීගේ මුළු ගෝත්‍රයටද ඉශ්රායෙල් සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබේ. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගිනි-පූජාද උන්වහන්සේගේ උරුමයද කන්නෝය.
2ඔවුන්ට තමුන්ගේ සහෝදරයන් අතරෙහි උරුමයක් නොලැබේ. ස්වාමීන්වහන්සේ ඔවුන්ට කීලෙස ඔවුන්ගේ උරුමය නම් උන්වහන්සේමය.
3සෙනඟගෙන් එනම් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ යාගයක් පිණිස ඔප්පුකරන තැනැත්තන්ගෙන් පූජකයන්ට ලැබිය යුතු කොටස මේය: ඉස්සරහ ගාතයක්ද දෙකන්සද ආමාශයද පූජකයාට දිය යුතුය.
4ඔබේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද තෙලින්ද ප්‍රථම ඒවාත් ඔබේ බැටළුවන්ගේ ප්‍රථම ලෝමත් ඔහුට දෙන්න.
5මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සහ ඔහුගේ පුත්‍රයන්ද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෑම කල්හිම සේවයකිරීමට සිටින පිණිස ඔබේ සියලු ගෝත්‍රවලින් ඔහු තෝරාගත්සේක.
6මුළු ඉශ්රායෙල්හි කොතන නුමුත් තිබෙන ඔබේ යම් නුවරක පොරොත්තුව සිටින ලෙවීයයෙක් එතනින් පිටත්වී ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට තමාගේ සිතේ මුළු ආශාව ඇතුව ආවොත්,
7එහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින ලෙවීවරුන් වන තමාගේ සියලු සහෝදරයන් කරන්නාක් මෙන් ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සේවය කෙරේවා.
8තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිණිස එකාකාර කොටස් ඔවුන් සමඟ ඔහුට ලැබිය යුතුය.
9ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණි කල්හි ඒ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියාවල හැටියට කරන්ට ඉගෙන නොගන්න.
10තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,
11මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් ඔබ අතරෙහි නොසිටීවා.
12මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. මේ පිළිකුල් නිසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමනසේක.
13ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණව සිටින්න.
14මක්නිසාද ඔබ පන්නාදමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිතිබල���්නන්ටත් පේනකියන්නන්ටත් ඇහුම්කන්දෙති. නුමුත් ඔබට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ කරන්ට ඉඩදීලා නැත.
15මා සමාන අනාගතවක්තෘකෙනෙකු ඔබ සැම අතරෙන් ඔබේ සහෝදරයන්ගෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට නැගුටුවා දෙනවා ඇත; ඔබ සැම එතුමාට ඇහුම්කන් දෙන්නහුය.
16ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී ඔබ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබ ඉල්ලුවෙහිය.
17ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔවුන් කී දේ මනා ලෙස කීවෝය.
18මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඔබ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය.
19මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි.
20එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය.
21ඉදින් ස්වාමීන්වහන්සේ නොකී වචනය අපි කෙසේ දනිමුදැයි ඔබේ සිතින් කියන්නෙහි නම්,-
22අනාගතවක්තෘ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් කථාකරන දේ ඉෂ්ට නොවන්නේ නම්, නොපැමිණෙන්නේ නම්, ඒ වනාහි ස්වාමීන්වහන්සේ නොකී කාරණයය. ඒ අනාගතවක්තෘතෙම ඒක හිතුවක්කාරකමින් කීවේය, ඔහුට භයනොවන්නැයි මට කීසේක.