Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
29 verses
1ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් සමඟ හොරේබ්හිදී කළ ගිවිසුම හැර උන්වහන්සේ මෝවබ් දේශයෙහිදී ඔවුන් සමඟ කරනලෙස මෝසෙස්ට අණකළ ගිවිසුමේ වචන මේය.
2මෝසෙස් සියලු ඉශ්රායෙල්වරුන් කැඳවා ඔවුන්ට මෙසේ කීය: ස්වාමීන්වහන්සේ මිසර දේශයෙහි ඔබ සැමගේ ඇස් ඉදිරියේදී ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද ඔහුගේ මුළු දේශයටද කළාවූ සියල්ල වන
3ඔබේ ඇස්වලින් දුටුවාවූ මහත් පරීක්ෂණද ලකුණුද ඒ මහත්වූ පුදුමද ඔබ සැම දුටුවහුය.
4එසේ නුමුත් දැනගැනීමට සිතක්ද දැකීමට ඇස්ද ඇසීමට කන්ද අද දවස දක්වා ස්වාමීන්වහන්සේ ඔබ සැමට නුදුන්සේක.
5උන්වහන්සේද: මම සතළිස් අවුරුද්දක් ඔබ සැම කාන්තාරයෙහි ගෙනායෙමි. ඔබ සැමගේ වස්ත්‍ර ඔබ සැම පිට පරණ නොවීය, ඔබේ පයෙහි ඔබේ වහන් පරණ නොවීය.
6ඔබ සැම රොටි කෑවේවත් මුද්‍රික රස හෝ මද්‍යපානය බීවේවත් නැත. මෙසේ වූයේ මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔබ සැම විසින් දැනගන්නා පිණිසයයි කියනසේක.
7ඔබ සැම මේ ස්ථානයට පැමුණුණ කල හෙෂ්බොන්හි රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද අපට විරුද්ධව යුද්ධයට ආවෝය. අපි ඔවුන්ට පහරදී,
8ඔවුන්ගේ දේශය අල්ලාගෙන, රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අන්ධගෝත්‍රයටද එය උරුමයක් කොට දුනිමුව.
9එබැවින් ඔබ සැම කරන සියල්ලෙහි ඔබ සැම සඵලවන පිණිස මේ ගිවිසුමේ වචන පවත්වා රක්ෂාකරන්න.
10ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කී හැටියටද, ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ හැටියටද, අද උන්වහන්සේ ඔබ තමන්ට සෙනඟක් කොට ස්ථිරකරන පිණිසත් ඔබේ දෙවියන්වහන්සේ වන පිණිසත්,
11ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුමටද උන්වහන්සේ අද ඔබ සමඟ කරන දිවුරුමටද ඇතුල්වීමට,
12ඔබ සැමගේ ප්‍රධානියෝද ඔබ සැමගේ ගෝත්‍රද ඔබ සැමගේ වැඩිමහල්ලෝද ඔබ සැමගේ මුලාදෑනීහුද වන සියලු
13ඉශ්රායෙල් මනුෂ්‍යයෝ සහ ඔබ සැමගේ බාලයන්ද භාර්යාවන්ද ඔබේ දර කපන්නා සහ වතුර අදින්නාත් ඇතුළුව ඔබේ අන්දායම්වල සිටින විදේශියාද යන ඔබ සැම සියල්ලෝම අද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටිනහුය.
14නුමුත් මේ ගිවිසුමත් මේ දිවුරුමත් මා කරන්��ේ ඔබ සැම සමඟ පමණක් නොව
15මෙහි අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අප වෙත සිටින්නා සමඟත් අද මෙහි අප වෙත නැති තැනැත්තා සමඟත්ය.
16(මක්නිසාද මිසර දේශයෙහි අපි කෙසේ විසීමුද කියාත් ඔබ සැම පසුකර ආ ජාතීන් මැදින් අපි කෙසේ පසුකර ආවෙමුද කියාත් ඔබ සැම දන්නහුය;
17ඔවුන් අතරේ තිබුණ ඔවුන්ගේ පිළිකුල්කම්ද ඔවුන්ගේ ලී ගල් රන් රිදී දේව රූපද ඔබ සැම දුටුවහුය.)
18එබැවින් ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවයකරන්ට යන පිණිස අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන සිතක් ඇති පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් පවුලක්වත් ගෝත්‍රයක්වත් ඔබ සැම අතරෙහි නොසිටින හැටියටත් වසද තිත්තකමද හටගන්වන මුලක් ඔබ සැම අතරෙහි නොතිබෙන හැටියටත් බලාගන්න.
19තවද එබඳු කෙනෙක් මේ දිවුරුමේ වචන අසන විට: මම මාගේ සිතේ මුරණ්ඩුකමින් හැසිරෙම් නුමුත් මට සමාදානය ලැබේයයි කියමින් පිපාසායට බේබදුකම එකතුකරන පිණිස තමාගේ සිතතුළ තමාට ආශීර්වාද කරගත්තොත්,
20ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,
21මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ගිවිසුමේ සියලු ශාපවල ප්‍රකාරයට නපුර පිණිස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඔහු වෙන්කරනසේක.
22එවිට ඔබ සැමට පසුව නැගිටින පරම්පරාව වන ඔබ සැමගේ දරුවන්ද දුර රටකින් එන විදේශියාද එසේය, සියලු ජාතීන්ද ඒ දේශයේ පීඩාවල් සහ ස්වාමීන්වහන්සේ ඒක පිටට පැමිණෙවු රෝගද,
23ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි:
24මේ දේශයට ස්වාමීන්වහන්සේ මෙසේ කළේ මක්නිසාද? මේ මහත්වූ උදහසේ බලවත්කමට කාරණය කිමෙක්දැයි කියනවා ඇත.
25එවිට මනුෂ්‍යයෝ කථාකොට: ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම ඔවුන් අත්හැර ගොස්,
26ඔවුන් දැනනොගත්තාවූ, උන්වහන්සේ ඔවුන්ට නියම නොකළාවූ අන් දෙවිවරුන්ට සේවයකරන්ටත් නමස්කාරකරන්ටත් යෙදුණු බැවින්,
27මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපය මේ දේශය පිටට පමුණුවන හැටියට ස්වාමීන්වහන්සේගේ උදහස ඊට විරුද්ධව ඇවුළුණේය;
28ස්වාමීන්වහන්සේ උදහසෙන්ද කෝපයෙන්ද මහත් අමනාපයෙන්ද ඔවුන් ස්වකීය භූමිය මතුපිටින් අහක්කර, අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන් අන් දේශයකට හෙළාදැමූසේකැයි කියන්නෝය.
29රහස්වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එළිදරව්කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය.