Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1මේ කාරණාවලට පසු අහෂ්වේරොෂ් රජ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් උසස්කරමින් උතුම්කමට පමුණුවා, තමා වෙත සිටිය සියලු අධිපතීන්ට වඩා උත්තම ආසනයක් ඔහුට දුන්නේය.
2රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දෝය. මක්නිසාද ඔහු ගැන රජ එසේ අණකර තිබුණේය. නුමුත් මොර්දෙකයි ඔහුට හිස නැමුවේවත් වැන්දේවත් නැත.
3එවිට රජවාසල සිටි රජුගේ සේවකයෝ: ඔබ රජුගේ අණ කඩකරන්නේ මක්නිසාදැයි මොර්දෙකයිට කීවෝය.
4ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නුමුත් ඔහු ඇහුම්කන්නුදුන් බැවින්, මොර්දෙකයිගේ කාරණා ස්ථිරවේදෝ කියා බලන පිණිස ඔව්හු හාමාන්ට දැන්නුවෝය. මක්නිසාද තමා යුදෙව්වෙක් බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේය.
5මොර්දෙකයි තමාට නැමී නමස්කාර නොකරන බව හාමාන් දැක කෝපයෙන් පිරුණේය.
6නුමුත් මොර්දෙකයි කෙරෙහි පමණක් අත් හෙළීම ඔහුට ඉතා සුළුව පෙනුණේය; මක්නිසාද මොර්දෙකයිගේ ජාතිය ගැන ඔහුට දන්වලද්දේය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟවූ සියලු යුදෙව්වරුන් නැතිකරන්ට සෙවුවේය.
7අහෂ්වේරොෂ් රජුගේ දොළොස්වෙනි අවුරුද්දේ නීසාන් මාසය නම්වූ පළමුවෙනි මාසයේ පටන් හාමාන් ඉදිරියෙහි දවසින් දවස මාසයෙන් මාසය අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසය දක්වා පූර් එනම් පසඇට දැමුවෝය.
8එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කථාකොට: ඔබගේ රාජ්‍යයේ සියලු රටවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර වෙනම සිටිති; ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස්ය; ඔවුන් රජුගේ ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින් ඔවුන්ට සිටින්ට ඉඩදීම රජ්ජුරුවන්ට වටින්නේ නැත.
9රජතුමා ප්‍රසන්න නම් ඔවුන් නැතිකරදමන හැටියට ලියාහරිනු ලැබේවා. මමද රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී තලෙන්ත දසදහසක් කිරා දෙන්නෙමියි කීවේය.
10රජ තමාගේ අතින් මුදුව ගළවා යුදෙව්වරුන්ගේ සතුරාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ට දී ඔහුට කථාකොට:
11රිදී ඔබට වේවා, ඔබට හොඳව පෙනෙන දෙයක් කරන්ට ඒ සෙනඟ එසේම ඔබ සැමට දී තිබේයයි කීවේය.
12එවිට පළමුවෙනි මාසයේ දහතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන්ට අඬගස්වා, හාමාන් අණකළ සියල්ල ලෙස රජුගේ දිසාධිපතීන්ටද සියලු රටවල ආණ්ඩුකාරයන්ටද එක එක සෙනඟගේ අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද ලියුම් ලියවා හැරියේය; අහෂ්වේරොෂ් රජුගේ නමින් ඒවා ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකෙළේය.
13අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා තරුණයන්ද මහල්ලන්ද බාලයන්ද ස්ත්‍රීන්ද යන සියලු යුදෙව්වරුන් එක දවසේම නැතිකරදමන්ටත් මරන්ටත් විනාශකරන්ටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්ටත් කියා රජුගේ සියලු රටවලට පණිවිඩකාරයන් අත ලියුම් අරිනලද්දේය.
14ඒ දවසට සූදානම්ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු ජනයන්ට ප්‍රසිද්ධකරනලද්දේය.
15පණිවිඩකාරයෝ රජුගේ ආඥාව පිට ඉක්මන්කර පිටත්ව ගියෝය, ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය. රජද හාමාන්ද බිමට හිඳගත්තෝය; නුමුත් ෂූෂන් නුවර කැළඹුණාය.