Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
14 verses
1එදා රාත්‍රියේ රජුට නින්ද නොගොස් ඉකුත්වූ කාලයේ කරුණු සඳහන්වූ ලේකම් පොත ගෙනෙන්ට අණකෙළේය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේය.
2එවිට අහෂ්වේරොෂ් රජු මරන්ට සෙවුවාවූ වාසල් රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන්ද තෙරෙෂ්ද ගැන මොර්දෙකයි දැන්වූ වග ලියා තිබෙනවා සම්බවිය.
3මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරනලද්දේදැයි රජු ඇසුවේය. ඔහුට කිසි දෙයක් කළේ නැතැයි රජුට සේවයකරන මෙහෙකරුවෝ කීවෝය.
4රජද: මිදුලේ ඉන්නේ කවුදැයි ඇසීය. හාමාන් වනාහි තමා විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේ ඔහු එල්ලාදමන්ට රජුට කථාකරන පිණිස රජගෙදර පිටත මිදුලට ඇවිත් සිටියේය.
5හාමාන් මිදුලේ සිටිනවායයි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කීවෝය. ඔහු ඇතුළට ඒවයි රජ කීය.
6හාමාන් ඇතුල්වුණ විට රජ ඔහුට කථාකොට: රජු විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට කරන්ට ඕනෑ මොකදැයි ඇසුවේය. හාමාන්ද: මට මිස රජු ගෞරවකරන්ට කැමැති කාටදැයි තමාගේ සිතින් සිතාගන, රජුට කථාකොට:
7රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතුය-
8රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක්ද රජ්ජුරුවන් නැගී යන්නාවූ, රාජ ඔටුන්න හිසේ දරන්නාවූ අශ්වයාද ගෙනවුත්,
9වස්ත්‍රයද අශ්වයාද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක්කෙනෙකු අතට භාරෙදන්ටත්, රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීථිය දිගේ ගෙනයමින්-රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුවෙන් ඝෝෂණයකර කියන්ටත් යෙදේවයි කීවේය.
10එවිට රජ හාමාන්ට කථාකොට: ඉක්මන්කර ඔබ කී වස්ත්‍රයද අශ්වයාද රැගෙන, රජවාසල හිඳින යුදෙව්වාවූ මොර්දෙකයිට එසේ කරන්න; ඔබ කී සියල්ලෙන් කිසිවක් අඩුනොවේවායි කීවේය.
11එවිට හාමාන් වස්ත්‍රයද අශ්වයාද රැගෙන මොර්දෙකයි සරසා, ඔහු නුවර වීථිය දිගේ අසුපිටින් යන්ට සලස්වා: රජ්ජුරුවන් විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුව ඝෝෂණයකර කීවේය.
12පසුව මොර්දෙකයි රජවාසලට හැරී ආවේය. නුමුත් හාමාන් වැලපෙමින් හිස වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස්,
13තමාට සිද්ධවූ සියල්ල තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ටද තමාගේ සියලු මිත්රයින්ටද කීවේය. එවිට ඔහුගේ උපදේශකයෝද ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුට කථාකොට: ඔබ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්ට පටන්ගත්තෙහිය, ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්ට ඔබට බැරිවෙයි, ඔහු ඉදිරියෙහි ඔබ වැටෙනවාම ඇතැයි කීවෝය.
14ඔවුන් ඔහු සමඟ කථාකරද්දීම රජුගේ නපුංසකයෝ ඇවිත් එස්තර් පිළියෙළකළ මංගල්‍යයට හාමාන් කැඳවාගනයන්ට ඉක්මන්කළෝය.