Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
32 verses
1රජුගේ ආඥාව සහ නියෝගය ඉෂ්ටවීමට පැමින්නාවූ, යුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වන්ට බලාපොරොත්තුව සිටි නුමුත් යුදෙව්වරුන්ම තමුන්ගේ වෛරකාරයන් කෙරෙහි බලය පවත්වන හැටියට කරුණු අනික් අතට හැරුණාවූ දවස වන අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා,
2යුදෙව්වරු තමුන්ට අනතුරු කරන්ට උපා යෙදූ අය පිට අත්හෙළන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල තමුන්ගේ නුවරවල රැස්වුණෝය. ඔවුන්ට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නුපුළුවන්විය; මක්නිසාද ඔවුන් නිසා භයක් සියලු ජනයන් පිට පැමුණුණේය.
3රටවල සියලු අධිපතියෝද දිශාධිපතියෝද ආණ්ඩුකාරයෝද රාජකාරිය කරන්නෝද යුදෙව්වරුන්ට උපකාරකළෝය; මක්නිසාද මොර්දෙකයි නිසා භයක් ඔවුන් පිටට පැමිණ තිබුණේය.
4කුමක්හෙයින්ද මොර්දෙකයි රජගෙදර උත්තමයෙක්ව සිටියේය, ඔහුගේ කීර්තියද සියලු රටවල පතළවී ගියේය. මොර්දෙකයි නම් ඒ පුරුෂ තෙමේ වඩ වඩාත් උසස් විය.
5එසේ යුදෙව්වරු තමුන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහරදී මරා විනාශ කළෝය, තමුන්ගේ වෛරකාරයන්ට තමුන්ගේ කැමැත්තේ හැටියට කළෝය.
6ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු මනුෂ්‍යයන් පන්සියයක් මරා නැතිකර දැමූහ.
7යුදෙව්වරුන්ගේ එදිරිකාරවූ හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාවූ පර්ෂාන්දාතාද දල්පොන්ද අස්පාතාද,
8පෝරාතාද අදලියාද අරීදාතාද,
9පර්මෂ්තාද අරීසයිද අරීදයිද වයිසාතාද ඔවුන් විසින් මරාදමනු ලැබුවෝය.
10නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.
11එදා ෂූෂන් බලකොටුවේදී මැරුම්කෑ අයින්ගේ ගණන රජු ඉදිරිපිටට ගෙනෙනලද්දේය.
12එවිට රජ එස්තර් බිසවට කථාකොට: ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු වනාහි මනුෂ්‍යයන් පන්සියයක්ද හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද මරා නැතිකළෝය. රජුගේ අනික් රටවල මක්කරන්ට නැද්ද? ඉතින් ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබේ. තවත් ඔබේ අයදුම මොකද? ඒක ඉෂ්ටකරනු ලැබේවයි කීවේය.
13එවිට එස්තර් කථාකොට: රජ්ජුරුවන් ප්‍රසන්න නම් ෂූෂන්හි සිටින යුදෙව්වරුන්ට අද දවසේ නියෝගයේ හැටියට හෙටත් කරන්ට අවසර ලැබේවා, හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද එල්ලුම්ගහේ එල්ලා තබත්වයි කීවාය.
14රජ එසේ කරන්ට අණකෙළේය. එවිට ෂූෂන්හි නියෝගයක් දෙන්ට යෙදුණේය; ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා එල්ලා තැබුවෝය.
15ෂූෂන්හි සිටි යුදෙව්වරුද අදාර් මස දහහතරවෙනි දවසෙත් රැස්වී ෂූෂන්හි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.
16රජුගේ රටවල සිටි අනික් යුදෙව්වරුද රැස්ව, තමුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විරුද්ධව සිට, තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්���ී, තමුන්ගේ වෛරකාරයන්ගෙන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට අත නොපෙවුවෝය.
17අදාර් මස දහතුන්වෙනිදා ඔව්හු එසේ කර දහහතරවෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.
18ෂූෂන්හි සිටිය යුදෙව්වරු වනාහි ඒ මාසයේ දහතුන්වෙනිදාත් දහහතරවෙනිදාත් රැස්වී, පහළොස්වෙනිදා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.
19ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්තෝෂ සහිතවූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගනිති.
20මොර්දෙකයිද මේ දේවල් ලියා අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල ළඟ හා දුර සිටි සියලු යුදෙව්වරුන්ට ලියුම් යවා,
21අදාර් මාසයේ දහහතරවෙනිදාත් පහළොස්වෙනිදාත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වුණ දවස් කොටද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත් ඔවුන්ගේ වැලපීම සන්තෝෂ දවසකටත් හැරුණු මාසය කොටද අවුරුදු පතා පවත්වමින්,
22ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
23යුදෙව්වරු වනාහි තමුන් පටන්ගත් ලෙසත් මොර්දෙකයි තමුන්ට ලියා ඇරිය ලෙසත් කරන්ට එකඟවුණෝය;
24මක්නිසාද යුදෙව්වරුන්ගේ එදිරිකාරයාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් යුදෙව්වරුන් නැතිකිරීමට ඔවුන්ට විරුද්ධව යෝජනාකර ඔවුන් විනාශකරන්ට පූර් එනම් පසඇට දැමුවේය;
25නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.
26එබැවින් පූර් යන නාමයේ හැටියට ඒ දවස්වලට පූරීම් යන නම තැබුවෝය. එසේ යුදෙව්වරු ඒ පත්‍රයේ සියලු වචනද ඒ ගැන තමුන් දුටු දේද තමුන්ට සිද්ධවුණ දේද නිසා,
27ඒ දවස් දෙක ගැන ලියූ ප්‍රකාරයටත් ඒවායේ නියම කාලයේ ප්‍රකාරයටත් ඒවා අවුරුද්දෙන් අවුරුද්ද නොවරදවා පවත්වන ලෙසද, පරම්පරාවෙන් පරම්පරාවට එක එක පවුල විසිනුත් එක එක රටෙත් එක එක නුවරත් ඒ දවස් සිහිකර පවත්වන ලෙසද,
28පූරීම් දවස් යුදෙව්වරුන් අතරෙන් පහවෙන්ටවත් ඒවා සිහිකිරීම තමුන්ගේ වංශයෙන් අත්හිටින්ටවත් නොදෙන ලෙසද නියමකර, තමුන්ද තමුන්ගේ වංශයද තමුන්ට එකතුවෙන සියල්ලන්ද වෙනුවට පිළිගත්තෝය.
29එවිට අබිහයිල්ගේ දුවවූ එස්තර් බිසවද යුදෙව්වාවූ මොර්දෙකයිද ඒ පූරීම් පත්‍රය ස්ථිරකරන්ට ඉතා බලවත් ලෙස මේ දෙවෙනි ලියුම ලියා ඇරියෝය.
30එසේ අහෂ්වේරොෂ්ගේ රාජ්‍යයේ රටවල් එකසිය විසිහතේ සිටිය සියලු යුදෙව්වරුන්ට සමාදාන සහිතවූ සත්‍යවූ වචන ඇති ලියුම් ලියා ඇර,
31නිරාහාරවීමෙත් ඔවුන්ගේ වැලපීමෙත් කාරණා ගැන යුදෙව්වාවූ මොර්දෙකයිද එස්තර් බිසවද ඔවුන්ට නියමකළ හැටියටත්, ඔවුන්ම තමුන්ටද තමුන්ගේ වංශයටද නියමකරගත් හැටියටත්, ඒ පූරීම් දවස් ඒවායේ නියම කාලයට ස්ථිරකළෝය.
32එස්තර්ගේ ආඥාවෙන් ඒ පූරීම් සම්බන්ධ කාරණා ස්ථිරවිය; එය පොතෙහිද ලියා තබනලද්දේය.