Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
16 verses
1ඉශ්රායෙල් පුත්රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.
2එබැවින් සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්: අපට බොන්ට වතුර දෙන්නැයි කීවෝය. මෝසෙස්: ඔබ සැම මා සමඟ විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමීන්වහන්සේ පරීක්ෂාකරන්නහුදැයි ඔවුන්ට කීවේය.
3එහිදී සෙනඟට වතුර පිපාසා විය; එහෙයින් සෙනඟ කථාකොට: අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසායෙන් මරවන්ට මිසරයෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය.
4මෝසෙස් ස්වාමීන්වහන්සේට මොරගසා: මේ සෙනඟ ගැන කුමක් කෙරෙම්ද? ඔව්හු මට ගල් ගසන්ට මෙන් සෑදී සිටිතියි කීය.
5එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඉශ්රායෙල් ප්රධානීන්ගෙන් සමහරුන් කැඳවාගෙන ගංගාවට පහරදුන් සැරයටියත් අතින් ගෙන සෙනඟට පෙරටුව යව.
6බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි ඔබ ඉදිරියෙහි සිටිමි; ඔබ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය.
7ඉශ්රායෙල් පුත්රයන්ගේ විවාදය නිසාත් ස්වාමීන්වහන්සේ අප අතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමීන්වහන්සේ පරීක්ෂාකළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේය.
8එකල අමලෙක්වරු අවුත් රෙඵිඩිම්හිදී ඉශ්රායෙල් සමඟ සටන්කළෝය.
9මෝසෙස් යෝෂුවාට කථාකොට: ඔබ අපට මිනිසුන් තෝරාගෙන පිටත්ව ගොස් අමලෙක්වරුන් සමඟ සටන්කරන්න. හෙට මම දෙවියන්වහන්සේගේ සැරයටිය අතින් ගෙන හෙළ මුදුනේ සිටින්නෙමියි කීවේය.
10යෝෂුවා මෝසෙස් තමාට කී ලෙස කොට, අමලෙක්වරුන් සමඟ සටන් කෙළේය. මෝසෙස්ද ආරොන්ද හූර්ද හෙළ මුදුනට ගියෝය.
11මෝසෙස් තමාගේ අත ඔසවා සිටි විට ඉශ්රායෙල්වරු ජයගත්තෝය. ඔහුගේ අත පහත හෙළූවිට අමලෙක්වරු ජයගත්තෝය.
12එහෙත් මෝසෙස්ගේ අත් බරවුණේය; එවිට ඔව්හු ගලක් රැගෙන ඔහුට යටින් තැබුවෝය, ඔහු ඒ පිට හිඳගත්තේය; ආරොන් සහ හූර් දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උසුලා සිටියෝය; එවිට ඔහුගේ අත් ඉර බස්නාතෙක් ස්ථිරව තිබුණේය.
13මෙසේ යෝෂුවා අමලෙක් හා ඔහුගේ සෙනඟ කඩු මුවහතින් පරාජයකෙළේය.
14ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම අමලෙක්වරුන් ගැන සිහිවීම අහස යටින් සහමුලින් මකාදමන්නෙමැයි යන මෙය සිහිවීම පිණිස පොතක ලියා, යෝෂුවාට ඇසෙන්ට කියාදෙවයි කීසේක.
15මෝසෙස් පූජාසනයක් ගොඩනගා ඊට .යෙහෝවඃ-නිස්සී යන නම තැබීය.
16ඔහු කථාකොට: ස්වාමීන්වහන්සේට පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්ට විරුද්ධව යුද්ධ ඇතිවන්නේය කියා ස්වාමීන්වහන්සේ දිවුළසේකැයි කීවේය.