Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
25 verses
1ඉශ්රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් ඇවිත් තුන් මාසයක් වූ එම දවසෙහි සීනයි වනාන්තරයට පැමිණියෝය.
2ඔව්හු රෙඵිඩිම්හි සිට පිටත්ව සීනයි වනාන්තරයට ඇවිත් වනාන්තරයෙහි කූඩාරම් ගසාගත්තෝය; එහි කන්ද ඉදිරිපිට ඉශ්රායෙල්වරු කූඩාරම් ගසාගත්තෝය.
3මෝසෙස් වනාහි දෙවියන්වහන්සේ වෙතට නැගී ගියේය, ස්වාමීන්වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා: ඔබ මෙසේ යාකොබ්ගේ වංශයට කියා ඉශ්රායෙල් පුත්‍රයන්ට දන්වන්න:
4මා විසින් මිසරවරුන්ට කළ දෙයද ඔබ සැම රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද ඔබ සැම දුටුවහුය.
5දැනුදු ඔබ සැම සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් ඔබ සැම මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.
6ඔබ සැම මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. ඔබ විසින් ඉශ්රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.
7මෝසෙස් අවුත් සෙනඟගේ ප්‍රධානීන් කැඳවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ මේ සියලු වචන ඔවුන් ඉදිරියෙහි තැබුවේය.
8එවිට මුළු සෙනඟ එක්ව උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ලම කරන්නෙමුයයි කීවෝය. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේට සැලකළේය.
9ස්වාමීන්වහන්සේද: බලව, මා ඔබ සමඟ කථාකරන කල සෙනඟ අසන පිණිසත් සෑම කල්හිම ඔබ කෙරෙහිද විශ්වාසකරන පිණිසත් ඝන වලාකුළකින් ඔබ වෙතට එමියි මෝසෙස්ට කීසේක. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේට දැන්නුවේය.
10ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.
11මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේ මුළු සෙනඟගේ ඇස් හමුවෙහි සීනයි කන්ද පිටට බසිනසේක.
12ඔබ සෙනඟට හාත්පසින් සීමා තබා: ඔබ සැම කන්දට නොනගින හැටියටත් එහි අද්දර ස්පර්ශනොවන හැටියටත් බලාගන්නැයි කියන්න. කන්දේ හැපෙන කවරෙක් නුමුත් සැබවින් මරනු ලබන්නේය.
13කිසි අතක් ඔහුට ස්පර්ශ නොවන්නේය, ඔහු සැබවින් ගල්ගසනු ලබන්නේය, නොහොත් විදදමනු ලබන්නේය; මෘගයෙක් වුවත් මනුෂ්‍යයෙක් වුවත් ජීවත්නොවන්නේය. හොරණෑව බොහෝ වේලා ශබ්දකරන කල්හි ඔව්හු කන්දට පැමිණෙත්වයි කීසේක.
14මෝසෙස් කන්දෙන් සෙනඟ ළඟට බැස අවුත් ඔවුන් පවිත්‍රකෙළේය; ඔව්හු තමුන්ගේ වස්ත්‍ර අපුල්ලාගත්තෝය.
15ඔහුද: තුන්වෙනි දවසට සෑදී සිටින්න. ස්ත්‍රියෙකු කරා නොපැමිණෙන්නැයි සෙනඟට කීය.
16තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.
17දෙවියන්වහන්සේට අභිමුඛවන පිණිස මෝසෙස් සෙනඟ කඳවුරෙන් පිටතට ගෙනායේය; ඔව්හුද කන්ද පහළ සිටියෝය.
18ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.
19හොරණෑ ශබ්දය වැඩි වැඩිව පැවතුණු විට මෝසෙස් කථාකෙළේය, දෙවියන්වහන්සේ ශබ්දයකින් ඔහුට උත්තරදුන්සේක.
20ස්වාමීන්වහන්සේ සීනයි කඳු මුදුනට බැස අවුත් කඳු මුදුනට මෝසෙස් කැඳවූසේක; මෝසෙස්ද නැගී ගියේය.
21ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බැස යව, බලන පිණිස සෙනඟ ස්වාමීන්වහන්සේ වෙතට සීමා බිඳගන අවුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නොනස්නා පිණිස සීමාව ඉක්මවා නොයනලෙස ඔවුන්ට අණකරව.
22ස්වාමීන්වහන්සේ ළඟට එන පූජකයෝද ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහර නොදෙන පිණිස තමන්ම පවිත්‍රකරගනිත්වයි කීසේක.
23මෝසෙස්ද: සෙනඟ සීනයි කන්දට නැගෙන්ට නොහැකිවෙති. මක්නිසාද: කන්ද වටකර සීමා තබා ඒක කැපකරව්ය කියා ඔබ අපට අණකළසේකැයි ස්වාමීන්වහන්සේට කීවේය.
24ස්වාමීන්වහන්සේද: යන්න, පහළ බසින්න; ඔබද ඔබ සමඟ ආරොන්ද නැගී එන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඇවිත් පහරනොදෙන පිණිස පූජකයෝද සෙනඟද උන්වහන්සේ වෙතට නැග එන්ට සීමාව බිඳගන නොයෙත්වයි ඔහුට කීසේක.
25එවිට මෝසෙස් සෙනඟ ළඟට බැස ඔවුන්ට එසේ කීවේය.