Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
25 verses
1තවද ලෙවීගේ වංශයේ මනුෂ්‍යයෙක් ගොස් ලෙවීගේ දුවක් පාවාගත්තේය.
2ඒ ස්ත්‍රී ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර ඔහු ශෝභමාන දරුවෙකු බව දැක තුන් මසක් ඔහු සඟවා ගත්තාය.
3තවත් ඔහු සඟවාගන්ට නොහැකිවූ කල්හි ඈ පන් පෙට්ටියක් ගෙන ඒකේ කීල් සහ ලාටු ගා දරුවා එහි තබා ගංඉවුරේ පන්ගස් අතරේ තැබුවාය.
4ඔහුගේ සහෝදරී ඔහුට කුමක් වන්නේදැයි දැනගන්නා පිණිස දුරින් බලා සිටියාය.
5ඵාරාවෝගේ දුව ගඟේ නෑමට ආවාය; ඈ සමඟ වූ තරුණියෝ ගංඉවුරේ ඇවිද්දෝය; ඈ පන්ගස් අතරේ පෙට්ටිය තිබෙනවා දැක ඒක ගෙනෙන්ට ඇගේ දාසිය ඇරියාය.
6ඒක ඇරිය කල ඕ තොමෝ දරුවා දුටුවාය. බලව, බිලිඳා ඇඬුවේය. ඈ ඔහු කෙරෙහි අනුකම්පාකොට: මොහු හෙබ්‍රෙව්වන්ගේ දරුවෙකැයි කීවාය.
7එවිට ඔහුගේ සහෝදරී ඵාරාවෝගේ දුවට කථාකරමින්: ඔබ උදෙසා දරුවාට කිරිදෙන පිණිස මා ගොස් හෙබ්‍රෙව් ස්ත්‍රීන්ගෙන් කිරිමවක් කැඳවාගන එන්ටදැයි ඇසුවාය.
8ඵාරාවෝගේ දුවද: යන්නැයි ඈට කීවාය. එවිට තරුණී ගොස් දරුවාගේ මවු කැඳවාගෙන ආවාය.
9ඵාරාවෝගේ දුව: මේ දරුවා ගෙනගොස් මා උදෙසා කිරි දෙන්න, මම ඔබට කුලී දෙන්නෙමියි කීවාය. ඒ ස්ත්‍රී දරුවා ගෙන ගොස් කිරි දී හැදුවාය.
10දරුවා වැඩුණු කල ඈ ඔහු ඵාරාවෝගේ දියණිය වෙතට ගෙනාවාය, ඔහු ඇගේ පුත්‍රයා වුණේය. ඈ වනාහි: මා ඔහු වතුරෙන් ඇදගත් නිසාය කියා ඔහුට මෝසෙස්2:10 එනම්, ඇදගැනීම. යයි නම් තැබුවාය.
11මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය.
12ඔහු ඔබ මොබ බලා කිසිවෙකු ළඟ නොසිටි බව දැක මිසරයා මරා වැල්ලෙහි සැඟෙවුවේය.
13ඔහු පසුවදා පිටතට ගිය කල, බලව, හෙබ්‍රෙව් මිනිසුන් දෙදෙනෙක් ගහගනිමින් සිටියෝය. ඔබ කුමක් හෙයින් ඔබේ අසල්වාසියාට පහරදෙන්නෙහිදැයි ඔහු වැරැද්ද කළ අයට කීය.
14එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට ඔබ පත්කළේ කවුද? ඔබ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කා���ණය එළදරව්වී තිබේයයි කීවේය.
15ඵාරාවෝ ඒ දේ අසා මෝසෙස් මරන්ට සෙවීය. නුමුත් මෝසෙස් ඵාරවෝ කෙරෙන් පලාගොස් මිදියන් දේශයෙහි වාසය කෙළේය.
16ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය.
17එඬේරු අවුත් ඔවුන් එළෙවුවෝය. එහෙත් මෝසෙස් නැගිට ඔවුන්ට උපකාර කොට ඔවුන්ගේ සිව්පාවුන්ට වතුර පෙවුවේය.
18ඔවුන් තමන් පියවූ රූවෙල් වෙතට ආ කල: ඔබ සැම අද මෙපමණ වේලාසනින් ආවේ කොහොමදැයි ඔහු ඇසුවේය.
19ඔව්හුද: මිසරයේ මනුෂ්‍යයෙක් එඬේරුන්ගේ අතින් අප ගැළෙවුවේය. ඒ ඇර අපට වතුරත් ඇද දී සිව්පාවුන්ට පෙවුවේයයි කීවෝය.
20ඒ මනුෂ්‍යයා කොහේද? ඔහු ඇරලා ආවේ මක්නිසාද? කෑම කන පිණිස ඔහුට අඬගසන්නැයි ඔහු තමාගේ දූවරුන්ට කීවේය.
21මෝසෙස් ඒ මනුෂ්‍යයා සමඟ විසීමට සතුටුවිය. ඔහු තමාගේ දූවූ ශිප්පොරා මෝසෙස්ට පාවාදුන්නේය.
22ඈ පුත්‍රයෙකු බිහිකළාය. මෝසෙස්: අන් දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමියි කියා ඔහුට ගේර්ෂොම්2:22 එනම්, විදේශියෙක්. යන නම තැබීය.
23ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්රායෙල් පුත්‍රයෝ වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය.
24දෙවියන්වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්‍රහම් සමඟද ඊසාක් සමඟද යාකොබ් සමඟද කළාවූ තමන්ගේ ගිවිසුම සිහිකළසේක.
25දෙවියන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් බලා ඔවුන්ගේ තත්වය සැලකූසේක.