Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
35 verses
1මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහය රැස්කොට කියනුයේ: ඔබ සැම විසින් කරන පිණිස ස්වාමීන්වහන්සේ අණ කළාවූ කාරණා මේවාය:
2සදවසක් වැඩකළ යුතුය, එහෙත් සත්වෙනි දින ඔබ සැමට ස්වාමීන්වහන්සේ උදෙසා ගරුමයවූ නිවාඩුවේ සබතක් වන ශුද්ධවූ දවසක්ව තිබෙන්ට ඕනෑය. එදින කිසි වැඩක් කරන කවරෙක් නුමුත් මරනුලබන්නේය.
3සබත් දවසේදී ඔබ සැමගේ සියලු වාසස්ථානවල ගින්දර පත්තු නොකළ යුතුයයි කීයේය.
4මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහයට මෙසේ කීය: ස්වාමීන්වහන්සේ අණකර කීවාවූ දේ මේය-
5ඔබ සැම අතරෙන් ස්වාමීන්වහන්සේට පඬුරක් ගෙනෙන්න. කැමති සිතක් ඇති කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පඬුරක් කොට රන්ද රිදීද පිත්තලද,
6නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද එළු ලොම්ද,
7රතු සායම් පෙවූ බැටළු සම්ද තහෂ් සම්ද, ෂිටිම් ලීද,
8එළිය දීමට තෙල්ද ආලේප තෙල්වලටත් සුවඳ දුම්වලටත් සුගන්ධ ද්‍රව්‍යයන්ද,
9ඒඵොද් සහ ළය වැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට මැණික්ද යන මේවා ගෙනේවා.
10ඔබ සැම අතරෙහි ප්‍රඥා සිත් ඇති සියල්ලෝ අවුත් ස්වාමීන්වහන්සේ අණකළ සියලු දේ සාදත්වා;
11එනම් මණ්ඩපයද ඒකේ කූඩාරමද ඒකේ වැස්මද ඒකේ කොකුද ඒකේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කණුද ඒකේ අඩිද;
12ගිවිසුම් පෙට්ටිය සහ ඒකේ පොලුද කරුණාසනයද කඩතුරාවේ වැස්මද;
13මේසය සහ ඒකේ පොලුද ඒකේ සියලු භාජනද පිදීමේ රොටිද;
14එළිය දීමට පහන්රුකද ඒකේ භාජනද ඒකේ පහන් සහ එළිය දීමට තෙල්ද;
15දුම් පූජාසනය සහ ඒකේ පොලුද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයද මණ්ඩපයට ඇතුල්වීමේ දොරකඩට දොරකඩ කඩතුරාවද;
16දවන පූජාසනය හා ඒකේ පිත්තල ගරාදි මැස්සද ඒකේ පොලුද ඒකේ සියලු භාජනද සෝදන භාජනය සහ ඒකේ අඩියද;
17මළුවේ කඩතිර හා ඒවායේ කුළුනුද ඒවායේ අඩිද මළුවේ දොරකඩට කඩතුරාවද;
18මණ්ඩපයේ ඇණද මළුවේ ඇණද ඒවායේ ලනුද;
19ශුද්ධ ස්ථානයෙහි සේවය පිණිස පූජකයාවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද වන පූජකකම් කිරීමට අඳින සියුම්ව සාදනලද වස්ත්‍රද යන මේවායයි කීවේය.
20එවිට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහය මෝසෙස් ඉදිරියෙන් අහක්ව ගියේය.
21තවද තමුන්ගේ සිත් පොලඹවනලද්දාවූ තමුන්ගේ ආත්මයෙන් කැමති කරනලද්දාවූ සියල්ලෝ අවුත් සම්මුඛවීමේ කූඩාරමේ කර්මාන්ත පිණිසද ඒකේ සියලු මෙහෙය හා ශුද්ධ වස්ත්‍ර පිණිසද ස්වාමීන්වහන්සේට පඬුරු ගෙනාවෝය.
22කැමති සිත් ඇති සියලු පුරුෂයෝද ස්ත්‍රීහුද අවුත් මේඛලාද කුණ්ඩලාභරණද පේරැස් මුදුද වළලුද යන සියලු ආකාර රන් බඩු ගෙනාවෝය; ස්වාමීන්වහන්සේට රන් පඬුරක් ඔප්පුකරන හැමදෙනා එසේ ගෙනාවෝය.
23තවද නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද එළු ලොම්ද රතු සායම් පෙවූ බැටළු සම්ද තහෂ් සම්ද ඇතුව සිටි සියල්ලෝ ඒවා ගෙනාවෝය.
24රිදී හා පිත්තල පඬුරක් ඔප්පුකරන සියල්ලෝ ස්වාමීන්වහන්සේගේ පඬුර ගෙනාවෝය. මෙහෙයේ යම් කර්මාන්තයකට ෂිටිම් ලී ඇති හැම දෙනා ඒවා ගෙනාවෝය.
25ප්‍රඥා සිත් ඇති සියලු ස්ත්‍රීහුද තමන් අත්වලින් නූල් කැට, ඔවුන් විසින් කටිනලද දේ වන නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද ගෙනාවෝය.
26ප්‍රඥා ඇතුව සිතින් පොලඹවනලද සියලු ස්ත්‍රීහු එළු ලොම් කැට්ටෝය.
27අධිපතීහු ඒඵොද් සැට්ටය උදෙසාත් ළයවැස්ම උදෙසාත් නඛමාණික්‍යද බැඳීමට මැණික්ද;
28එළිය දීමටත් ආලේප තෛලය පිණිසත් සුවඳ දුම් පිණිසත් සුගන්ධ ද්‍රව්‍යයන් හා තෙල්ද ගෙනාවෝය.
29කරන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු සියලුම වැඩවලට යමක් ගෙනෙන්ට සිත් කැමතිකරවනලද්දාවූ සියලු ස්ත්‍රී පුරුෂයෝ ස්වාමීන්වහන්සේ වෙතට ස්වෙච්ඡා පඬුරක් ගෙනාවෝය.
30මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ට කියනුයේ: බලන්න, ස්වාමීන්වහන්සේ යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා
31දක්ෂ කර්මාන්ත යෝජනාකර රනින්ද රිදීයෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමටත්
32බැඳීමට මැණික් කැපීමටත් ලීවලින් කැටයම් වැඩ කිරීමටත්
33සියලු ආකාර වැඩවලට ප්‍රඥාවද බුද්ධියද දැනගැන්මද සියලු ආකාර කර්මාන්තවලට තේරුමද ලැබෙන ලෙස ඔහු දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණකළසේක.
34තවද උන්වහන්සේ ඔහුටද දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ්ටද උගන්වන්ටත් සිත් දුන්සේක.
35කැටයම්කරන්නාගේද දක්ෂ කම්කරුවාගේද නිල්, රත්නිල්, රතු නූලින් සහ සිහින් හණවලින් ගොතන්නාගේද වියන්නාගේද කොයි කර්මාන්තයක් නුමුත් කරන්නාගේද දක්ෂ කර්මාන්ත යොදන්නන්ගේද සියලු ආකාර කර්මාන්ත කරන්ට ඔවුන්ගේ සිත් ප්‍රඥාවෙන් පූර්ණකළසේක.