Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
35 verses
1තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ ඵාරාවෝ වෙතට ගොස් ඔහුට මෙසේ කියව-හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.
2ඔබ ඔවුන්ට යන්ට නොදී තවදුරටත් වලක්වන්නෙහිනම්,
3බලව, කෙතේ ඉන්න ඔබේ සිව්පාවුන් පිට එනම් අශ්වයන් පිටද කොටළුවන් පිටද ඔටුවන් පිටද ගව රැළවල් සහ එළු බැටළු රැළවල් පිටද ස්වාමීන්වහන්සේගේ හස්තය පැමිණෙයි. ඉතා තද ගව වසංගතයක් වන්නේය.
4ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ සිව්පාවුන්ද මිසරයේ සිව්පාවුන්ද අතරේ වෙනසක් කරනසේක. ඉශ්රායෙල් පුත්‍රයන් සන්තක සියල්ලන්ගෙන් කිසිවෙක් නොනසින්නේයයි ඔහුට කියවයි කීසේක.
5ස්වාමීන්වහන්සේ වේලාවක් නියමකොට: හෙට දවසේ ස්වාමීන්වහන්සේ මේ දෙය දේශයෙහි කරනවා ඇතැයි කීසේක.
6පසුවදා ස්වාමීන්වහන්සේ ඒ දේ කළසේක, මිසරයේ සියලු සිව්පාවෝ මළෝය. එහෙත් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළේය.
7එවිට ඵාරාවෝ මිනිසුන් යවා ඉශ්රායෙල්වරුන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළ බව දැනගත්තේය. එහෙත්, ඵාරාවෝගේ සිත මුරණ්ඩුව තිබුණේය, ඔහු සෙනඟ යන්ට නොහැරියේය.
8තවද ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: උදුනේ අලු අත් පුරා ගන්න, මෝසෙස් ඒවා ඵාරාවෝගේ ඇස් හමුවෙහිදී අහස දෙසට ඉසීවා.
9ඒවා මිසර දේශය මුළුල්ලෙහි සිහින් ධූලිව, මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටද මෘගයන් පිටද වණ හටගන්නා ගඩුවන්නේයයි කීසේක.
10ඔව්හු උදුනේ අලු රැගෙන ඵාරාවෝ ඉදිරිපිට සිටියෝය; මෝසෙස් ඒවා අහස දෙසට ඉස්සේය; ඒවා මනුෂ්‍යයන් පිටත් මෘගයන් පිටත් වණ හටගන්නා ගඩු විය.
11ගඩු නිසා මායාකාරයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්ට නුපුළුවන් වූයේය; මක්නිසාද මායාකාරයන් සහ සියලු මිසරවරුන්ට ගඩු හැදුණේය.
12ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ලෙස ඔවුන්ට ඇහුම්කන්නුදුන්නේය.
13තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: අලුයම නැගිට ඵාරාවෝ ඉදිරිපිට සිට හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිව��� ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියව: මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.
14මක්නිසාද මුළු පොළොවෙහි මා සමාන කෙනෙක් නැති බව ඔබ දැනගන්නා පිණිස මේ වතාවේ ඔබේ සිතටත් ඔබේ සේවකයන් පිටටත් ඔබේ සෙනඟ පිටටත් මාගේ සියලු පීඩාවන් පමුණුවන්නෙමි.
15මක්නිසාද දැනට මා විසින් මාගේ අත දිඟුකොට ඔබට සහ ඔබේ සෙනඟට වසංගතයෙන් පහර දෙන්ටත් එසේ ඔබ පොළොවෙන් සිඳිනු ලබන්ටත් තිබුණේය.
16සැබවින් මා විසින් ඔබ ආරක්ෂාකළේ ඔබට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.
17තවමත් මාගේ සෙනඟ යන්ට නොහරින ලෙස ඔවුන්ට විරුද්ධව උසස්වන්නෙහිද?
18බලව, හෙට මේ වේලාව පමණේදී මිසරය පිහිටෙවු දා පටන් මේ දක්වා නුවූ ආකාර භයානක ගල් වර්ෂාවක් වස්වන්නෙමි.
19එබැවින් දැන් මිනිසුන් යවා කෙතෙහි සිටින ඔබේ සිව්පාවුන්ද ඔබ සන්තක සියල්ලද ඉක්මනින් ගෙන්වාගන්න; මක්නිසාද ගෙට ගෙන්වා නොගෙන කෙතෙහි සිටින්නාවූ සියලු මිනිසුන් සහ මෘගයන් පිට ගල් වර්ෂාව වසින්නේය, ඔව්හු මියයන්නෝයයි ඔහුට කියවයි කීසේක.
20ඵාරාවෝගේ සේවකයන් අතරෙන් ස්වාමීන්වහන්සේගේ වචනයට භයවූ තැනැත්තේ තමාගේ මෙහෙකරුවන්ද සිව්පාවුන්ද ගෙවලට පලායන්ට සැලැස්විය.
21ස්වාමීන්වහන්සේගේ වචනය නොසැලකූ තැනැත්තේ තමාගේ වැඩකාරයන්ද සිව්පාවුන්ද කෙතෙහි සිටින්ට හැරියේය.
22ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටටත් මෘගයන් පිටටත් මුළු මිසර දේශයෙහි කෙතේ සියලු පලා ජාති පිටටත් ගල් වර්ෂාව වසින පිණිස අහස දෙසට ඔබේ අත දිගුකරන්නැයි කීසේක.
23මෝසෙස් තමාගේ සැරයටිය අහස දෙසට දිගුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව එවූසේක, ගින්න පොළොව පිට වැටුණේය; ස්වාමීන්වහන්සේ මිසර දේශය පිටට ගල් වර්ෂාව වැස්සෙවුසේක.
24මෙසේ මිසර දේශය ජනපදයක්වූ පසු එහි කොතැනකවත් නුවූලෙස ඉතා තද ගල් වර්ෂාවද ගල් වර්ෂාව හා මිශ්‍රව ගිනිද වැස්සේය.
25ගල් වර්ෂාව වනාහි මුළු මිසර දේශයෙහි කෙත්වල සිටි සියලු මනුෂ්‍යයන්ද මෘගයන්ද හෙළා දැම්මේය; තවද ගල් වර්ෂාවෙන් කෙතේ සියලු පලා ජාති නාස්තිවිය, සියලු ගස්ද බිඳීගියේය.
26ඉශ්රායෙල් පුත්‍රයන් සිටි ගෝෂෙන් නම් දේශයෙහි පමණක් කිසි ගල් වර්ෂාවක් නොවීය.
27එවිට ඵාරාවෝ පණිවුඩ යවා මෝසෙස් සහ ආරොන් හඬගස්වා: මම මේ වතාවේ පව්කෙළෙමි. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේක, මමද මාගේ සෙනඟද දුෂ්ටයෝය.
28ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්න; මක්නිසාද මේ මහත් අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව ඉතින් ඇත; මම ඔබ සැම තවත් නවත්වා නොගෙන යන්ට හරින්නෙමියි ඔවුන්ට කීය.
29මෝසෙස්ද: මම නුවරින් පිට ගිය කෙණෙහිම ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් දිගුකරන්නෙමි; පොළොව ස්වාමීන්වහන්සේගේයයි ඔබ දැනගන්නා පිණිස අකුණු ගර්ජනා නවතින්නේය, ගල් වර්ෂාවද තවත් නොවන්නේය.
30එහෙත් ඔබද ඔබගේ සේවකයෝද ස්වාමිවූ දෙවියන්වහන්සේට තවම භයනොවන්නහුයයි දනිමියි ඔහුට කීවේය.
31හණ සහ යවද නාස්තිවුණේය. මක්නිසාද යව කරල් හටගෙන තිබුණේය, හණද පීදී තිබුණේය.
32නුමුත් තිරිඟු සහ තණහාල් නොවැඩී තිබුණු බැවින් ඒවා නාස්ති නොවීය.
33මෝසෙස් ඵාරාවෝ කෙරෙන් නුවරින් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ දෙසට තමාගේ අත් දිගුකෙළේය. එවිට අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාවද නැවතුණේය. වර්ෂාවද පොළෝ මතුපිට නොවැස්සේය.
34ඵාරාවෝ වනාහි වර්ෂාවද ගල් වර්ෂාවද අකුණු ගර්ජනාද නැවතුණු බව දුටු කල ඔහුත් ඔහුගේ සේවකයොත් වඩ වඩා පව්කරමින් තමන්ගේ සිත් දැඩිකරගත්තෝය.
35ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඉශ්රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය.