Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1තවද මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයෙහි නීලමාණික්‍ය වැන්නක් ඔවුන්ට ඉහළින් තිබෙනවා දුටිමි. එය සිංහාසනයක සමානත්වයේ පෙනීමක් මෙන් ඔවුන්ට උඩින් පෙනුණේය.
2උන්වහන්සේ හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට කථාකොට: නුඹ කෙරුබ්ට යටින් කරකැවෙන චක්‍ර අතරට ඇතුල්වී, කෙරුබ්වරුන් අතරේ තිබෙන ගිනි අඟුරුවලින් නුඹේ දෑත පුරවාගෙන, නුවර පිට විසුරුවන්නැයි කීසේක. ඔහු මා ඉදිරියෙහි ඇතුල්වුණේය.
3ඒ මනුෂ්‍යයා ඇතුල්වෙන කොට කෙරුබ්වරු ගෘහයේ දකුණු පැත්තෙහි සිටියෝය; ඇතුල් මළුවද වලාකුළෙන් පිරුණේය.
4එවිට ස්වාමීන්වහන්සේගේ තේජස කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත මතුයෙහි නැවතුණේය; ගෘහය වලාකුළෙන් පිරුණේය, මළුවද ස්වාමීන්වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේය.
5කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දයද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ කථාකරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේය.
6කරකැවෙන චක්‍ර අතරෙන් එනම් කෙරුබ්වරුන්ට අතරෙන් ගිනි අරගන්න කියා හණ වස්ත්‍ර හැඳගන සිටි මනුෂ්‍යයාට උන්වහන්සේ අණකළ විට ඔහු ඇතුල්වී චක්‍රයක් ළඟ සිටගත්තේය.
7ඒ කෙරුබ් තෙමේ කෙරුබ්වරුන්ට අතරේ තිබුණු ගින්නට තමාගේ අත කෙරුබ්වරුන් අතරෙන් දිඟුකොට එයින් රැගෙන, හණ වස්ත්‍ර හැඳගන සිටි තැනැත්තාගේ දෑතට දුන්නේය, ඔහුද අරගන පිටතට ගියේය.
8කෙරුබ්වරුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අතක ස්වරූපයක් පෙනුණේය.
9මම බැලූ විට මෙසේ දුටිමි: කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම් එක කෙරුබ් කෙනෙක් ළඟ එක රෝදයක්ද තවත් කෙරුබ් කෙනෙක් ළඟ තවත් රෝදයක්ද වශයෙන් තිබුණේය. රෝදවල පෙනීමද රන්කාන්තියක දිලිහීම වාගේය.
10ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය, ඒවායේ පෙනීම වනාහි රෝදයක් තුළ රෝදයක් තිබෙන්නාක්මෙන්ය.
11ඒවා යන කල නොහැරී ඒවායේ සතර පැති දෙසට ගියෝය; ඒවා යන කල නොහැරී හිස තිබෙන දිශාවටම ඒ පස්සේ ගියෝය.
12ඔවුන්ගේ මුළු ශරීරවලද ඔවුන්ගේ ���ිටවල්වලද අත්වලද පියාපත්වලද රෝදවලද වටකර පුරාම ඇස් තිබුණේය, ඒ සතර දෙනාටත් ඔවුන්ගේ රෝදවලටත් එසේ තිබුණේය.
13ඒ රෝදවලට කරකැවෙන චක්රයයි නම් තබනවා මට ඇසුණේය.
14එකිනෙකාට මුහුණු සතරක් විය. පළමුවෙනි මුහුණ කෙරුබ් මුහුණය, දෙවෙනි මුහුණ මනුෂ්‍ය මුහුණය, තුන්වෙනි එක සිංහ මුහුණය, සතරවෙනි එක රාජාලි මුහුණය. කෙරුබ්වරුද ඉහළට නැංගෝය.
15ඒ වනාහි කෙබාර් ගඟ ළඟදී මා දුටු සත්වයාය.
16තවද කෙරුබ්වරුන් යන විට රෝදත් ඔවුන් කැටුව ගියෝය. පොළොව මතුපිටින් නගින්ට කෙරුබ්වරුන් තමුන්ගේ පියාපත් එසවූ විට රෝදත් ඔවුන් වෙතින් අහක්නූණෝය.
17ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණාහ; ඔවුන් නගින කල ඒවාත් ඔවුන් සමඟ නැංගෝය. මක්නිසාද සත්වයාගේ ආත්මය ඒවා තුළ විය.
18එවිට ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහයේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට උඩින් සිටියේය.
19කෙරුබ්වරු පිටතට යන විට තමුන්ගේ පියාපත් ඔසවා මාගේ ඇස් හමුයෙහි පොළොවෙන් නැංගෝය, රෝදත් ඔවුන් එක්කම නැංගෝය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නැගෙනහිර දොරකඩ සිටියෝය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජසද ඔවුන්ට උඩින් තිබුණේය.
20ඒ වනාහි කෙබාර් ගංගාව ළඟදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට පහළින් සිටිනවා මා දුටු සත්වයාය; ඔවුන් කෙරුබ්වරුන් බව දැනගතිමි.
21එක එකාට මුහුණු සතරක් බැගින්ද එක එකාට පියාපත් සතරක්ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක්ද තිබුණේය.
22ඔවුන්ගේ මුහුණුවල ස්වරූපයේ හැටියට ඒවායේ පෙනීමත් ඒවාත් මා කෙබාර් ගඟ ළඟදී දුටු මුහුණුය; ඔව්හු එකිනෙකා කෙළින්ම ඉස්සරහට ගියෝය. දුෂ්ට මූලිකයන් විනාශවන බවට තර්ජනය.