Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියන්නාවූ ඉශ්රායෙල්හි අනාගතවක්තෘවරුන්ට විරුද්ධව නුඹ අනාගතවාක්‍ය කියමින්, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නන්ට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න;
3ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-කිසිවක් නොදැක, තමුන්ගේම ආත්මය පස්සේ යන්නාවූ මෝඩවූ අනාගතවක්තෘවරුන්ට දුක්වේ!
4අහෝ ඉශ්රායෙල්, නුඹේ අනාගතවක්තෘවරු පාළු තැන්වල සිටින සිවලුන් හා සමාන වූය.
5නුඹලා කපලුවලට නැගුණේවත් ස්වාමීන්වහන්සේගේ දවසේ සටනේදී සවිව සිටීමට නුඹලා ඉශ්රායෙල් වංශය වටකර තාප්පයක් ගොඩනැගුවේවත් නැත.
6ස්වාමීන්වහන්සේ ඔවුන් නොඑවූ නුමුත් ඔව්හු: ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා නිෂ්ඵල කාරණා දැක, බොරු පේන කියා, වචනය ස්ථිර කරන්ට බලාපොරොත්තුවුණෝය.
7නුඹලා නිෂ්ඵල දර්ශනයක් දකින්ටත් බොරු දිවස් කියන්ටත් යෙදුණා නොවේද? මා කථා නොකළ නුමුත්: ස්වාමීන්වහන්සේ කියනසේකැයි නුඹලා කියන්නහුය.
8එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිෂ්ඵල දේ කියන්ටත් බොරු දර්ශන දකින්ටත් යෙදුණු නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධව සිටිමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
9මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
10මක්නිසාද සමාදානය නැති කල්හි සමාදානයයයි කියා ඔව්හු මාගේ සෙනඟ මුළාකෙරෙවුවෝය; සෙනඟ තාප්පයක් ගොඩනගන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති.
11ඒක වැටෙන්නේයයි පදම් නොකළ බදාම ගාන අයට කියන්න. ඉතා සැර වැස්සක් එන්නේය; එම්බා මහත් ගල් වර්ෂාවෙනි, නුඹලා වැටෙනවා ඇත; හුළං-කුණාටුවක් එය ඉරාද���න්නේය.
12බලව, තාප්පය වැටුණු කල: නුඹලා ගෑවාවූ ගෑම කොයිදැයි මනුෂ්‍යයෝ නුඹලාට නොකියද්ද?
13එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ කෝපයෙන් හුළං- කුණාටුවක් කරණකොටගෙන ඒක ඉරාදමන්නෙමි; ඒක විනාශකරන්ට මාගේ උදහස නිසා සැර වැස්සක්ද මාගේ කෝපය නිසා ගල් වර්ෂාද වන්නේය.
14මෙසේ නුඹලා පදම් නොකළ බදාම ගෑවාවූ තාප්පය මම කඩාදමා, එහි අත්තිවාරම පෙනෙන හැටියට එය බිම හෙලන්නෙමි. ඒක වැටෙනවා ඇත, නුඹලාද ඊට යටවී නාස්තිවෙනවා ඇත; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
15මෙසේ මාගේ කෝපය තාප්පය පිටත් එහි පදම් නොකළ බදාම ගෑ අය පිටත් වගුරුවා: තාප්පය නැත, එහි බදාම ගෑවාවූ අයත් නැතැයි නුඹලාට කියන්නෙමි.
16ඔව්හු නම් යෙරුසලම ගැන අනාගතවාක්‍ය කියමින්, සමාදානය නැති කල්හි ඈ උදෙසා සමාදාන දර්ශන දකින ඉශ්රායෙල් අනාගතවක්තෘවරුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
17තවද මනුෂ්‍ය පුත්‍රය, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නාවූ නුඹේ සෙනඟගේ දූවරුන්ට විරුද්ධව නුඹේ මුහුණ තබා, ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්,
18මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-ප්‍රාණ දඩයම් කිරීමට අත්වල සියලු සන්ධිවලට වැසුම් මහන්නාවූ, සියලු ප්රමාණවල හිස් වැසුම් සාදන්නාවූ ස්ත්රීන්ට දුක්වේ! නුඹලා මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්තිකරමින්, නුඹලාගේම ප්‍රාණ ඉතුරුකරගන්ට නුඹලාට පුළුවන්වේද?
19බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා විසින් බොරුකීමෙන්, මරණය විඳින්ට සුදුසු නැති ප්‍රාණීන් මරමින්ද ජීවත්වීමට සුදුසු නැති ප්‍රාණීන් ජීවත්කරමින්ද නුඹලා යව අහුරුවලටත් රොටි කෑලිවලටත් මාගේ සෙනඟ අතරේ මා කෙලසුහුය.
20එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, ප්‍රාණ ඉගිලීයන හැටියට නුඹලා එහි ඒවා දඩයම්කිරීමට පාවිච්චිකරන නුඹලාගේ වැසුම්වලට විරුද්ධව සිටිමි, මම ඒවා නුඹලාගේ හස්තවලින් ඉරාදමා, ප්‍රාණ ඉගිලීයන හැටියට නුඹලා දඩයම්කරන ඒ ප්‍රාණ නිදහස්කරන්නෙමි.
21නුඹලාගේ වැසුම්ද මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි, දඩයම් කිරීමට ඔවුන් තවත් නුඹලා අතට අසුවෙන්නේ නැත; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
22මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝක කළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත්කළ නිසාද,
23නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහුය, දිවස් කීම් නොකියන්නහුය. මමද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි කීය.