Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ අම්මොන් පුත්‍රයන් දෙසට හරවාගන, ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්, මෙසේ කියන්න.
3ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න; ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ ශුද්ධස්ථානය කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ්රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යූදා වංශය වහල්කමට ගිය නිසා ඔවුන්ට විරුද්ධවද නුඹ ඔහෝයයි කී බැවින්,
4මම නැගෙනහිර දිශාවේ වැසියන්ට උරුමයක් කොට නුඹ පාවාදෙන්නෙමි, ඔවුන් නුඹ තුළ තමුන්ගේ කඳවුරු බැඳ, තමුන්ගේ වාසස්ථාන නුඹ තුළ පිහිටුවාගන්නවා ඇත; ඔවුන් නුඹේ ඵල කා, නුඹේ කිරිබොනවා ඇත.
5රබ්බා ඔටුවන්ට තෘණ බිමක්ද අම්මොන් පුත්‍රයන්ගේ රට බැටළුවන් ලගින ඉඩමක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
6මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ අත්පොළසන් දී, අඩිහපා, නුඹේ මුළු උඩඟුකමින් ඉශ්රායෙල් දේශයට විරුද්ධව සිතෙන් ප්රීතිවූ බැවින්,
7මාගේ අත නුඹට විරුද්ධව දිගුකර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවාදී, ජනයන් අතරෙන් නුඹ සිඳදමා, දේශවලින් නුඹ නැතිකොට විනාශකරන්නෙමි; නුඹ මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය.
8ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යූදා වංශය සියලු ජාතීන් වාගේයයි මෝවබ් සහ සේයිර්ද කියන නිසා,
9මෙන්න, මම මෝවබ්ගේ පැත්ත ඔහුගේ සියලු නුවරවල සිට, එනම් දේශයේ අලංකාරකම වන බෙත්-යෙෂිමොත්ද බාල්-මෙයොන්ද පටන් කිරියාතයිම් දක්වා,
10අම්මොන් පුත්‍රයන්ගේ රටත් සමඟ නැගෙනහිර දිශාවේ වැසියන්ට ඇරදී, ඒක උරුමයක් කොට දෙන්නෙමි. මෙසේ කරන්නේ ජාතීන් අතරෙහි අම්මොන් පුත්‍රයන් ගැන සිහි නොවන පිණිසය.
11මම මෝවබ් කෙරෙහි විනිශ්චයවල් ඉෂ්ටකරන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය.
12ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒදොම් යූදා ව��ශයෙන් පළිගන්න ලෙස ක්‍රියාකොට බොහෝසෙයින් වරදකාරයන් වූ නිසාත් ඔවුන්ගෙන් පළිගත් නිසාත්,
13ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ඒදොම්ට විරුද්ධව මාගේ අත දිඟුකොට, එතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමා, තේමාන් පටන් දෙදාන් දක්වා ඒක පාළුවක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් වැටෙනවා ඇත.
14මාගේ සෙනඟවූ ඉශ්රායෙල් ලවා ඒදොම් පිටට මාගේ පළිගැනීම පමුණුවන්නෙමි; ඔවුන් මාගේ උදහසේද මාගේ කෝපයේද ප්‍රකාරයට ඒදොම්ට කරනවා ඇත. ඔවුන් මාගේ පළිගැනීම දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
15ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: පිලිස්තිවරුන් පළිගන්න ලෙස ක්‍රියාකොට, පුරාණ සතුරුකමින් විනාශකිරීමට සිතේ උඩඟුකමින් පළිගත් බැවින්,
16මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධව දිඟුකොට, කෙරෙතිවරුන් සිඳදමා, මුහුදුබඩ ඉතිරිව සිටින්නන් නැතිකරන්නෙමි.
17කෝප සහිත තර්ජනවලින් ඔවුන්ගෙන් බොහෝසෙයින් පළිගන්නෙමි; එසේ ඔවුන්ගෙන් පළිගන්න කල මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.