Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
36 verses
1ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:
2මනුෂ්‍ය පුත්‍රය, නුඹ තීර් ගැන විලාපයක් පවත්වමින්,
3තීර්ට මෙසේ කියන්න: මුහුදට ඇතුල්වෙන තැන්හි වාසයකරන්නාවූ, ජනයන්ගේ වෙළෙන්දියක්ව බොහෝ ද්වීපවලට යන්නාවූ තැනැත්තිය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා තීර් -මම අලංකාරකමෙන් සම්පූර්ණව සිටිමියි නුඹ කීයෙහිය.
4නුඹේ පළාත් මුහුදු මැද ඇත්තේය, නුඹව සෑදූ අය නුඹේ අලංකාරකම සම්පූර්ණකර තිබේ.
5ඔව්හු නුඹේ තට්ටු සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදුවෝය. නුඹට කුඹගසක් සාදන්ට ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්තෝය.
6බාෂාන්හි අලෝන ලීවලින් නුඹේ හබල් සෑදුවෝය; නුඹේ ආසන කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත්දත් ගිල්ලෙවුවෝය.
7නුඹට කොඩියක් කොට නුඹ විහිදෙවුවේ මිසරයේ විසිතුරු සිහින් රෙදිය; නුඹේ වියන එලීෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් දිය.
8ශීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයෝව සිටියෝය. එම්බා තීර්, නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝම නුඹේ නාවිකයෝව සිටියෝය.
9ගෙබල්හි වැඩිමහල්ලෝද එහි ප්‍රඥාවන්තයෝද නුඹ තුළ නුඹේ කැඩුම් හරිගස්සන්නෝව සිටියෝය. නුඹේ වෙළඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව්ද ඒවා යාත්‍රාකරන්නෝද නුඹ තුළ සිටියෝය.
10පාර්සිවරුද ලූද්වරුද පුට්වරුද නුඹේ සේනාවෙහි සිටියේය; ඔව්හු නුඹේ යුද්ධකාරයෝය. ඔව්හු පලිස්ද යුද්ධ තොප්පිද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දක්වාලූවෝය.
11අර්වද්හි පුත්‍රයෝද නුඹේ සේනාවද නුඹේ පවුරු පිට වටේට සිටියෝය, ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝය. ඔව්හු තමුන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝය; ඔව්හු නුඹේ රුව සම්පූර්ණකළෝය.
12සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂීෂ් නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය; ඔව්හු රිදීවලින්ද යකඩවලින්ද බෙලෙක්වලින්ද ඊයම්වලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.
13යාවාන්ද තූබල්ද මෙෂෙක්ද නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ මනුෂ්‍ය ප්‍රාණද පිත්තල බඩුද වෙළඳාම්කළෝය.
14තොගර්මා වංශයේ අය නුඹ සමඟ අශ්වයන්ද සෛන්ධවයන්ද අශ්වතරයන්ද වෙළඳාම්කළෝය.
15දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දෝව සිටියෝය. බොහෝ ද්වීපයෝ නුඹ යටතේ වෙළඳාම්කළෝය; ඔව්හු ඇතුන්ගේ දළ සහ කළුවර ලී හුවමාරුවට නුඹ කරා ගෙනාවෝය.
16නුඹේ බොහෝ කර්මාන්ත නිසා සිරිය නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය. ඔව්හු රතුකැටවලින්ද රත්නිල් රෙදිවලින්ද විසිතුරු රෙදිවලින්ද සිහින් රෙදිවලින්ද පබළුවලින්ද ලෝහිතංකවලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.
17යූදාවරුද ඉශ්රායෙල් දේශයේ මනුෂ්‍යයෝද නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ මින්නිත්හි තිරිඟු, පන්නග්, මීපැණි, තෙල්, ගුගුල් යන මේවායින් ගනුදෙනුකළෝය.
18නුඹේ බොහෝ කර්මාන්ත නිසාත් නුඹේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය නුඹ සමඟ හෙල්බොන්හි මුද්‍රිකපානයද සුදු ලොම්ද වෙළඳාම් කළාය.
19වෙදාන්ද යාවාන්ද නුඹ සමඟ නූල් ගනුදෙනුකළෝය. තළාපු යකඩ සහ ගන්ධරසද දඬුද නුඹේ වෙළඳාම් බඩු අතරේ තිබුණේය.
20පොරොන්දු පිණිස අගේ ඇති ඇතිරිලි ගැන දෙදාන් නුඹේ වෙළෙන්දාව සිටියාය.
21අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹ යටතේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ බැටළුපැටවුන්ද බැටළුවන්ද එළුවන්ද වෙළඳාම්කළෝය.
22ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ සියලු ආකාර උතුම් සුවඳ ද්‍රව්‍යද සියලු ආකාර අනර්ඝ ගල්ද රන්ද ගනුදෙනුකළෝය.
23හාරාන්හිද කන්නෙහිද එදෙන්හිද මනුෂ්‍යයෝ වන ෂෙබාහිත් අෂූර්හිත් කිල්මද්හිත් වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිටියෝය.
24ඔව්හු නුඹ සමඟ ඉතා අලංකාර වස්ත්‍රද නිල් සහ විසිතුරු සළුද නොයෙක් පාට ඇති වස්ත්‍ර පිරෙවුවාවූ, ලනුවලින් බැන්දාවූ කිහිරි ලී පෙට්ටිද නුඹේ වෙළඳාම්පළෙහි වෙළඳාම්කළෝය.
25නුඹේ වෙළඳාම් බඩු ගෙනගියේ තර්ෂිෂ්හි නැව්වලින්ය. නුඹ පිරී, මුහුද මැද ඉතා කීර්තිමත්ව සිටියෙහිය.
26නුඹේ හබල්කාරයෝ නුඹ මහත් ජලවලට පැමිණෙවුවෝය. පෙරදිග සුළඟින් මුහුද මැදදී නුඹ බිඳුණාය.
27නුඹේ සම්පත්ද නුඹේ බඩුද නුඹේ වෙළඳාම්ද නුඹේ යාත්‍රාකාරයෝද නුඹේ නාවිකයෝද නුඹේ කැඩුම් හරිගස්සන්නෝද නුඹේ වෙළඳාමේ යෙදී සිටින්නෝද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයෝද නුඹ ඇතුළෙහි සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹේ වැටීමේ දවසේදී මුහුද මැද වැටෙන්නෝය.
28නුඹේ නාවිකයන්ගේ කෑගැසීමේ ශබ්දයට අසල ස්ථාන සෙලවෙන්නේය.
29හබල අල්ලන සියල්ලෝද යාත්‍රාකාරයෝද මුහුදේ සියලුම නාවිකයෝද තමුන්ගේ නැව්වලින් බැස ගොඩ සිටගෙන,
30නුඹ ගැන තමුන්ගේ හඬ පවත්වා, ශෝකයෙන් මොරගසා, තමුන්ගේ හිස් පිට ධූලි හෙළාගන, අලුවල පෙරළී සිටින්නෝය.
31ඔව්හු නුඹ නිසා හිස් මුඩුකර, ගෝණි රෙදි ඇඳගෙන, ආත්මයේ ශෝකයෙන් තද විලාපයක් ඇතුව නුඹ ගැන අඬන්නෝය.
32ඔවුන්ගේ ළතෝනියේදී ඔවුන් නුඹ ගැන විලාපයක් පවත්වා, නුඹ ගැන මෙසේ විලාප කියනවා ඇත: මුහුද මැදදී නිශ්ශබ්දභාවයට පත්වූ තීර්ට සමාන කවුද?
33නුඹේ බඩු මුහුදුවලින් පිටත්ව ගිය කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහිය; නුඹේ සම්පත්වලද වෙළඳාම්වලද අධිකකමින් නුඹ පොළොවේ රජුන් පොහොසත්කෙළෙහිය.
34දැන් නුඹ ගැඹුරු ජලවලදී මුහුදුවලින් බිඳුණු බැවින් නුඹේ වෙළඳාමද නුඹ ඇතුළෙහි සිටි නුඹේ මුළු සමූහයාද වැටුණෝය.
35ද්වීපවල සියලුම වැසියෝ නුඹ ගැන විස්මපත්වෙති, ඔවුන්ගේ රජවරුද අතිශයින් භයව කැලඹුණ මුහුණු ඇතිව සිටිති.
36ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ නුඹට කවටකම්කරති; නුඹ භීතියක් වී තිබේ, තවත් කිසි කලක නුඹ නොසිටින්නෙහියයි කීය.