Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1තවද මනුෂ්‍ය පුත්‍රය, පැතලි ගඩොළක් ගෙන ඒක නුඹ ඉදිරියෙහි තබාගන නුවරක්, එනම් යෙරුසලම, ඒකේ සිතියම් කරන්න.
2ඊට විරුද්ධව වටලාගැනීමක් පිහිටුවා, ඊට විරුද්ධව බලකොටු ගොඩනගා, ඊට විරුද්ධව ගොඩැල්ලක් සාදා, ඊට විරුද්ධව අන්දායම් තබා, වටකරින් ඊට විරුද්ධව යුද්ධ යන්ත්‍ර තබන්න.
3තවද යකඩ තැටියක් ගෙන යකඩ පවුරක් මෙන් කොට ඒක නුඹටත් නුවරටත් අතරේ තබා, ඒක වටලනු ලබන පිණිස ඊට විරුද්ධව නුඹේ මුහුණ පිහිටුවා, ඒක වටලාගන්න. මෙය ඉශ්රායෙල් වංශයට ලකුණක්ය.
4තවද නුඹේ වම් අංශයට හාන්සිවී, ඉශ්රායෙල් වංශයේ අයුතුකම ඊ පිට තබාගන හිඳින්න. නුඹ ඊ පිට හාන්සිවී ඉන්න දවස් ගණන මුළුල්ලෙහි නුඹ ඔවුන්ගේ අයුතුකම දරන්නෙහිය.
5මක්නිසාද මම ඔවුන්ගේ අයුතුකමේ අවුරුදු නුඹට දවස් ගණනක් කොට එනම් තුන්සිය අනූ දවසක් නියමකෙළෙමි. මෙලෙස නුඹ ඉශ්රායෙල් වංශයේ අයුතුකම දරන්නෙහිය.
6නුඹ ඒවා ඉෂ්ටකළ පසු, නුඹේ දකුණු අංශයට නැවත හාන්සිවී, යූදා වංශයේ අයුතුකම සතළිස් දවසක් දරාගන හිඳින්න. අවුරුද්දකට දවසක් බැගින් නුඹට නියමකෙළෙමි.
7නුඹේ මුහුණද යෙරුසලම වටලෑමට පිහිටුවාගන හිඳ, නුඹේ හස්තය නග්නකර, ඊට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.
8බලව, නුඹේ වටලෑමේ දවස් නුඹ තීන්දුකරන තුරු නුඹේ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ පිට බැඳුම් තබමි.
9තවද නුඹ තිරිඟුද යවද මෑද කොල්ලුද කුරක්කන්ද තණහාල්ද රැගෙන එක භාජනයක තබා, එයින් රොටි සාදාගන්න; නුඹේ අංශයට නුඹ හාන්සිවෙන දවස් ගණන වන තුන්සිය අනූ දවසක් ඒවා කන්න.
10නුඹ කන්නාවූ නුඹේ කෑමද දවසට බර ගණනින් ෂෙකෙල් විස්සක්ව තිබෙන්ට ඕනෑය. වරින් වර ඒවා කන්න.
11වතුරත් දවසට නැළියෙන් සතරෙන් තුන් පංගුවක් මැන බොන්ට ඕනෑය. වරින් වර බොන්න.
12යව රොටි වාගේ ඒ කෑම කන්න, මනුෂ්‍යයා පහරන අශූචිවලින් ඔවුන්ගේ ඇස් හමුයෙහි ඒවා පිසින්න.
13මා විසින් ඉශ්රායෙල් පුත්‍රයන් ජාතීන් අ���රට පන්නා දැමූ කල්හි ඔවුන් එසේ එහිදී තමුන්ගේ අපවිත්‍රවූ කෑම කනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කීසේක.
14එවිට මම: අහෝ ස්වාමීවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාල වයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.
15එවිට උන්වහන්සේ: මෙන්න, මනුෂ්‍ය අශූචි වෙනුවට ගවයින්ගේ ගොම නුඹට නියමකෙළෙමි, ඒවායින් නුඹේ රොටි පිසින්නැයි මට කීසේක.
16තවද උන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ට කෑමද වතුරද නැතුව ගොස්; එකිනෙකා සමඟ විස්මයට පත්ව, තමුන්ගේ අයුතුකම නිසා ක්ෂයවී යන පිණිස,
17මම යෙරුසලමේ කෑම නමැති යෂ්ටියද නැතිකරන්නෙමි. මෙසේ ඔව්හු කෑම කිරා පිරිමසාගන කන්නෝය; කනස්සලුකමින් වතුර මැන බොන්නෝයයි කීසේක.