Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
20 verses
1යාකොබ් තමාගේ ඇස් ඔසවා බැලූ විට ඒසව්ද ඔහු සමඟ මිනිසුන් හාරසියයක්ද එනවා දුටුවේය. ඔහු ලෙයාටත් රාඛෙල්ටත් දාසීන් දෙදෙනාටත් දරුවන් වෙන්කොට දී,
2දාසීන් සහ ඔවුන්ගේ දරුවන් පෙරටුකොටද, ලෙයා සහ ඇගේ දරුවන් පස්සෙන්ද, රාඛෙල් සහ යෝසෙප් ඊටත් පස්සෙන්ද සිටුවා,
3ඔවුන්ට ඉස්සරවී, තමාගේ සහෝදරයා ළඟට එන තෙක් සත්වරක් බිමට නැමී වැන්දේය.
4එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය.
5ඒසව් ඇස් ඔසවා ස්ත්‍රීන් හා දරුවන් දැක: ඔබ සමඟ සිටින මොව්හු කවුරුදැයි ඇසුවේය. දෙවියන්වහන්සේ කරුණාවෙන් ඔබගේ මෙහෙකරුවාට දුන් දරුවෝයයි ඔහු කීවේය.
6එකල දාසීහුද ඔවුන්ගේ දරුවෝද ළංවී වැන්දෝය.
7ලෙයාද ඇගේ දරුවෝද ළංවී වැන්දෝය. ඉන්පසු යෝසෙප්ද රාඛෙල්ද ළංවී වැන්දෝය.
8මට සම්බවුණු ඔබේ ඔය පිරිස කුමක් පිණිසදැයි ඒසව් ඇසුවේය. මාගේ ස්වාමිහුගෙන් කරුණාව ලැබෙන පිණිසයයි ඔහු කීවේය.
9ඒසව්: මට සෑහෙන පමණ තිබේ; මාගේ සහෝදරය, ඔබට තිබෙන දේ ඔබටම තිබේවයි කීය.
10එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය.
11දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.
12තවද ඔහු: අපි පිටත්ව යමු; මම ඔබට පෙරටුව යන්නෙමියි කීවේය.
13එවිට යාකොබ්: දරුවන් ළාබාල බවද කිරිදෙන එළු බැටළුරැළවල් සහ ගවරැළවල් මා සමඟ ඉන්න බවද මාගේ ස්වාමියා දන්නේය. එක දවසක් උන් ඉක්මනට දැක්කුවොත් මුළු රැළ මියයන්නේය.
14මාගේ ස්වාමියා ස්වකීය මෙහෙකරුවාට ඉස්සරව යේවා. මම මාගේ ස්වාමියා වෙතට සේයිර්ට පැමිණෙනතෙක් මට පෙරටුව යන සිව්පාවුන්ටත් දරුවන්ටත් යන්ට පුළුවන් ප්‍රමාණයට හෙමිහිට එන්නෙමියි ඔහුට කීවේය.
15ඒසව්ද: එසේවීනම් මා සමඟ සිටින මිනිසුන්ගෙන් සමහරෙකු ඔබ සමඟ නවත්වා යන්නෙමියි කීවේය. ඔහුද: ඒ කුමටද? මාගේ ස්වාමියාගෙන් මට කරුණාව ලැබේවයි කීවේය.
16මෙසේ ඒසව් ඒ දවසෙහි සේයිර්ට යන පිණිස හැරීගියේය.
17යාකොබ් සුක්කොත්ට 33:17 එනම්, මඩු. ගමන්කොට තමාට ගෙයක් ගොඩනැගුවේය, තමාගේ සිව්පාවුන්ට මඩුද සෑදීය. එබැවින් ඒ ස්ථානයට සුක්කොත් යන නම තබනලද්දේය.
18යාකොබ් පදන්-අරාමෙන් ආ කල්හි කානාන් දේශයෙහි තිබෙන ෂෙඛෙම් නුවරට සමාදානයෙන් ඇවිත් නුවර ඉදිරිපිට කූඩාරම් පිහිටුවා ගත්තේය.
19ඔහු තමාගේ කූඩාරම පිහිටුවාගත් බිම් කැබෙල්ල ෂෙඛෙම්ගේ පියවූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කෑලි සියයකට ගෙන
20එහි පූජාසනයක් ගොඩනගා ඒල්-එලොහේ-ඉශ්රායෙල් 33:20 එනම්, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ. යන නාමය ඊට තැබුවේය.