Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
30 verses
1ඒ කාලයේ යූදා තමාගේ සහෝදරයන් වෙතින් අහක්ව අදුල්ලමියයෙක්වූ හීරානම් මනුෂ්‍යයෙකු වෙතට ගියේය.
2යූදා එහිදී ෂුවානම්වූ කානානියයෙකුගේ දියණියක් දැක ඈ පාවාගෙන ඈ වෙතට පැමුණුණේය.
3ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඔහු ඔහුට ඒර් යන නම තැබුවේය.
4ඈ නැවත ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර ඔහුට ඕනාන් යන නම තැබුවාය.
5ඈ නැවතත් තව පුත්‍රයෙකු බිහිකර ඔහුට ෂේලා යන නම තැබුවාය. ඈ ඔහු බිහිකරන කල්හි යූදා කෙසිබ්හි සිටියේය.
6යූදා තමාගේ කුලුඳුලාවූ ඒර්ට තාමාර් නම්වූ භාර්යාවක් ගෙනදුන්නේය.
7යූදාගේ කුලුඳුලාවූ ඒර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින් ස්වාමීන්වහන්සේ ඔහු නැසූ සේක.
8යූදා ඕනාන්ට කථාකොට: ඔබේ සහෝදරයාගේ භාර්යාව වෙත පැමිණ මළ සහෝදරයා වෙනුවට ඈ පාවාගැනීමෙන් ඔබේ යුතුකම ඉෂ්ටකර ඔබේ සහෝදරයාට වංශයක් උපදවන්නැයි කීයේය.
9ඕනාන් ඒ වංශය තමාට අයිති නොවන බව දැන තමාගේ සහෝදරයාගේ භාර්යාව වෙතට පැමිණි කල්හි තමාගේ සහෝදරයාට වංශය නොදෙන පිණිස එය බිම වැගිරෙවුවේය.
10ඔහු කළ දෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණු බැවින් උන්වහන්සේ ඔහුද නැසූසේක.
11එවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්‍රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් ඔබේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය.
12කල්යාමෙන් ෂුවාගේ දූවූ, යූදාගේ භාර්යාව මළාය; යූදා සැනසුණායින් පසු තමාගේ මිත්‍රවූ අදුල්ලමියවූ හීරා සමඟ තමන් බැටළුවන්ගේ ලොම් කපන්නන් වෙත තිම්නාවට ගියේය.
13බලව, ඔබේ මාමා තමාගේ බැටළුවන්ගේ ලොම් කපන පිණිස තිම්නාට යන්නේයයි තාමාර්ට කියනලද්දේය.
14ෂේලා වැඩිවිය පැමිණ සිටි නුමුත් තමා ඔහුට භාර්යා කොට පාවාදෙනු නොලැබූ බව දුටු බැවින් ඈ තමා���ේ කනවැන්දුම් වස්ත්‍ර පහකොට තමාගේ මුහුණු වැස්ම දමා පොරවාගෙන තිම්නාවට යන මාර්ගයෙහි වූ ඒනයිම් නම් දොරටුවේ හිඳගත්තාය.
15යූදා ඈ දැක, මුහුණ වසාගෙන සිටි බැවින් ඈ වේශ්‍යාවකැයි සිතුවේය.
16ඈ තමාගේ ලේලී බව ඔහු නොදැන මාර්ගයෙහිදී හැරී ඈ ළඟට ගොස්: එන්න, ඔබ වෙත පැමිණෙන්ට මට ඉඩ අරින්නැයි කීවේය. ඈද: ඔබ මා කරා පැමිණෙන පිණිස මට කුමක් දෙන්නෙහිදැයි ඇසුවාය.
17රැළෙන් එළු පැටවෙකු ඔබට එවන්නෙමියි ඔහු කීය. ඈ ඔබ ඌ එවනතුරු උකසක් මට දෙන්නෙහිදැයි ඇසුවාය.
18කුමන උකසක් දෙම්දැයි ඔහු ඇසීය. ඔබේ මුද්‍රාවත් ඔබේ මාලයත් ඔබේ අතේ තිබෙන සැරයටියත්යයි ඈ කීවාය. ඔහු ඒවා ඈට දී ඈ කරා පැමිණියේය. ඈ ඔහු කරණකොටගෙන ගර්භිණීවූවාය.
19ඈ නැගිට පිටත්ව ගොස් මුහුණු වැස්ම අහක තබා ඇගේ කනවැන්දුම් වස්ත්‍ර හැඳගත්තාය.
20යූදා ඒ ස්ත්‍රිය අතින් තමාගේ උකස ගන්න පිණිස අදුල්ලමියවූ තමාගේ මිත්‍රයා අත එළුපැටවා යැවීය.
21එහෙත් ඈ ඔහුට සම්බවුණේ නැත. එවිට ඔහු ඈ සිටි ස්ථානයෙහි මනුෂ්‍යයන්ගෙන්: මාවත ළඟ ඒනයිම්හී සිටියාවූ වේශ්‍යාව කොතනදැයි ඇසුවේය. මෙහි වේශ්‍යාවක් සිටියේ නැතැයි ඔව්හු කීවෝය.
22එවිට ඔහු යූදා වෙතට හැරී ගොස්: ඈ මට සම්බවුණේ නැත; ඒ ස්ථානයේ මනුෂ්‍යයොත් මෙහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝයයි කීය.
23එවිට යූදා: අපට නින්දා නොපැමිණෙන පිණිස ඈ ඒක ගත්තාවේ. මම මේ එළු පැටවා යැවීමි, එහෙත් ඔබට ඈ සම්බවුණේ නැතැයි කීවේය.
24තුන් මසක් පමණ ඉකුත්වූ පසු: ඔබේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.
25ඈ පිටතට ගෙනෙනු ලැබූ කල්හි ඈ කථාකොට: මේ දේ අයිති මනුෂ්‍යයා කරණකොටගෙන මම ගර්භිණීව සිටිමි. මේ මුද්‍රාවද මාලයද සැරයටියද කාගේදැයි විමසා බලන ලෙස ඔබෙන් ඉල්ලමියි ඇගේ මාමණ්ඩියට කියා ඇරියාය.
26යූදා ඒවා හැඳින: ඈ මට වඩා ධර්මිෂ්ඨය; කුමක් හෙයින්ද මාගේ පුත්‍රවූ ෂේලාට ඈ නුදුන්නෙමියි කීවේය. ඔහු තවත් ඈ නොහැඳින්නේය.
27තවද ඈ බිහිකරන කාලය පැමිණි කල්හි, බලව, නිඹුල් දරු දෙදෙනෙක් ඇගේ කුසෙහි වූවෝය.
28ඈ බිහිකරන කල එකෙක් අතක් පිට කෙළේය. වින්නඹුව වනාහි: මොහු පළමුකොට නික්ම ආයේය කියා රතු නූලක් ඔහුගේ අතෙහි බැන්දාය.
29ඔහු තමාගේ අත ඇදගත් කල්හි ඔහුගේ සහෝදරයා බිහිවිය. ඈද: ඔබ බිඳුමක් කර ගත්තේ මක්නිසාදැයි කීවාය. එබැවින් පෙරෙශ් 38:29 එනම්, කැඩීම හෝ බිඳීම. යන නම ඔහුට තබනලද්දේය.
30පසුව අතේ රතු නූල ඇති ඔහුගේ සහෝදරයා බිහිවිය. ඔහුට සෙරා යන නම තබනලද්දේය.