Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
26 verses
1මනුෂ්‍යයා තමාගේ භාර්යාවවූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් බිහිකර: ස්වාමින්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි කීවාය.
2නැවත ඈ ඔහුගේ සහෝදරවූ ආබෙල් බිහිකළාය. ආබෙල් බැටළු පාලයෙක් වූයේය, නුමුත් කායින් ගොවියෙක් වූයේය.
3කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් ස්වාමීන්වහන්සේට පඬුරක් ගෙනායේය.
4ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක;
5එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොසැලකූසේක. එවිට කායින් අතිශයෙන් කෝපවිය, ඔහුගේ මුහුණද වෙනස්විය.
6ස්වාමීන්වහන්සේ කායින්ට කථාකොට: ඔබ කෝපව සිටින්නේ මන්ද? ඔබේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද?
7ඔබ යහපත කෙරෙහිනම් පිළිගනු නොලබන්නේද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව ඔබ කෙරෙහි වන්නේය, ඔබද එය කෙරෙහි ආණ්ඩුකරන්නේයයි කීසේක.
8කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට කථාකෙළේය. තවද ඔවුන් කෙතෙහි සිටි කල්හි කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේය.
9ස්වාමීන්වහන්සේ: ඔබේ සහෝදරවූ ආබෙල් කොහේදැයි කායින්ට කීසේක. ඔහුද: මම නොදනිමි; මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි කීය.
10උන්වහන්සේ: ඔබ කුමක් කෙළේද? ඔබේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬගසයි.
11දැනුදු ඔබේ අතින් ඔබේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භූමියෙන් ඔබ ශාපලද්දෙක්ය.
12ඔබ භූමිය වගාකරන කල ඈ මෙතැන් පටන් ඇගේ සාරවත්කම ඔබට නොදෙන්නීය. ඔබ පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නේයයි කීසේක.
13එවිට කායින් ස්වාමීන්වහන්සේට කථාකොට: මාගේ දඬුවම දැරිය නොහැකි තරම් මහත්ය.
14බැලුව මැනව, ඔබවහන්සේ අද දවසෙහි භූමිතලයෙන් මා එළෙවුසේක; මමද ඔබවහන්සේ ඉදිරියෙන් සැඟවෙන්නෙමි; පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙමි; තවද මා සම්බවෙන කවරෙක් නුමුත් මා මරන්නේයයි කීය.
15ස්වාමීන්වහන්සේ: ඉදින් යමෙක් කායින් මරන්නේද ඔහුගෙන් සත්වරක් පළිගනු ලබන්නේයයි ඔහුට කීසේක. කායින් සම්බවෙන කිසිවෙක් ඔහුට පහර නොදෙන පිණිස ස්වාමීන්වහන්සේ ඔහුට ලකුණක් නියම කළසේක. කායින්ගේ සහ සෙත්ගේත් වංශ
16කායින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටත්ව ගොස් ඒදනෙන් පෙරදිග නොද් දේශයෙහි වාසය කෙළේය.
17කායින් තමාගේ භාර්යාව හැඳින්නේය; ඈ ගර්භිණීව ඒනොක් බිහිකළාය. ඔහු නුවරක් ගොඩනගා, තමාගේ පුත්‍රයාගේ නම ලෙස ඊට ඒනොක් යන නම තැබීය.
18ඒනොක් හට ඊරාද් උපන්නේය; ඊරාද්ට දාව මෙහුයායෙල් උපන්නේය; මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් උපන්නේය; මෙතුෂායෙල්ට දාව ලාමෙක් උපන්නේය.
19ලාමෙක් භාර්යාවන් දෙදෙනෙකු පාවාගත්තේය; එක් තැනැත්තියකගේ නම ආදාය, අනික් තැනැත්තියගේ නම ශිල්ලාය.
20ආදා යාබල් බිහිකළාය; ඔහු කූඩාරම්වල වාසයකරන්නාවූ ගෝපාලයන්ගේ පියාය.
21ඔහුගේ සහෝදරයාගේ නම යූබාල්ය; ඔහු වීණාවත් නළාවත් පාවිච්චිකරන සියල්ලන්ගේ පියාය.
22ශිල්ලාද තූබල්-කායින් වැදුවාය, ඔහු සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ තනන ලෝකුරුවා වූයේය. තූබල්-කායින්ගේ සහෝදරී නාමාය.
23ලාමෙක් තමාගේ භාර්යාවන්ට කථාකොට: ආදා සහ ශිල්ලා, මාගේ හඬ අසව්; ලාමෙක්ගේ භාර්යාවෙනි, මාගේ බසට කන්දෙව්; මට තුවාල කළ නිසා මිනිසෙක්ද මට රිදවූ නිසා යෞවනයෙක්ද මැරීමි;
24ඉදින් කායින් නිසා සත් වරක් පළිගනු ලැබේ නම් සැබවින් ලාමෙක් නිසා සැත්තෑසත් වරක් පළිගනු ලැබේයැයි කීවේය.
25ආදම් නැවත තමාගේ භාර්යාව හැඳින්නේය; ඈ පුත්‍රයෙකු බිහිකර ඔහුට සෙත් යන නම තැබුවාය. මක්නිසාද කායින් ආබෙල් මැරූ හෙයින් ඔහු වෙනුවට දෙවියන්වහන්සේ මට වෙන වංශයක් නියමකර දුන්සේකැයි ඈ කීවාය. සෙත්ටද පුත්‍රයෙක් උපන්නේය;
26ඔහු ඒනොෂ් යන නම ඔහුට තැබීය. එකල මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්ට පටන් ගත්තෝය.