Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
28 verses
1එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය.
2ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය.
3යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය.
4යෝසෙප්: අනේ මා ළඟට එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. ඔව්හු ළංවුණෝය. එවිට ඔහු: මම ඔබ සැම මිසරයට වික්කාවූ ඔබ සැමගේ සහෝදරවූ යෝසෙප්ය.
5ඔබ සැම මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, ඔබ සැමටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස ඔබ සැමට පෙරටුව මා එවූසේක.
6කුමක්හෙයින්ද මේ දෑවුරුද්දේ දේශයෙහි සාගතය පැවතුණේය. සීසෑමක්වත් කැපීමක්වත් නැත්තාවූ තවත් පස් අවුරුද්දක් වන්නේය.
7දෙවියන්වහන්සේ ඔබ සැම පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් ඔබ සැමගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද ඔබ සැමට පෙරටුව මා එවූසේක.
8එබැවින් මා මෙහි එවුවේ ඔබ සැම නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක.
9ඔබ සැම ඉක්මන්කොට මාගේ පියා වෙතට ගොස්: ඔබගේ පුත්‍රවූ යෝසෙප් මෙසේ කියයි-දෙවියන්වහන්සේ මා මුළු මිසර දේශයට ස්වාමියා කළසේක. ප්‍රමාද නොව මා වෙතට අව මැනවි.
10ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය.
11ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් ප��තින්නේයයි කියන්න.
12මෙන්න, ඔබ සැමට කථාකරන්නේ මාගේ මුඛය බව ඔබ සැමගේ ඇස්වලටද මාගේ සහෝදරවූ බෙන්යමින්ගේ ඇස්වලටද පෙනෙයි.
13ඔබ සැම මිසරයෙහි මාගේ සියලු ඓශ්වර්ය ගැනද ඔබ සැම දුටු සියල්ල ගැනද මාගේ පියාට දන්වා ඉක්මන්කොට මාගේ පියා මෙහි කැඳවාගෙන එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය.
14තවද ඔහු තම සහෝදරවූ බෙන්යමින්ගේ බෙල්ල බදාගෙන හැඬීය; බෙන්යමින්ද ඔහුගේ බෙල්ල බදාගෙන හැඬීය.
15ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.
16යෝසෙප්ගේ සහෝදරයෝ ආවෝය කියා ඵාරාවෝගේ ගෙයි වැසියන්ට ආරංචිවිය. ඵාරාවෝද ඔහුගේ සේවකයෝද ඊට බොහෝ ප්‍රසන්නවූවෝය.
17ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: ඔබ සැම මෙසේ කරන්නැයි ඔබේ සහෝදරයන්ට කියන්න-ඔබ සැමගේ මෘගයන් පිට බඩු පැටවිලිකරගෙන ගොස් කානාන් දේශයට පැමිණ,
18ඔබ සැමගේ පියාණන් සහ ඔබ සැමගේ පවුල්ද රැගෙන මා වෙතට එන්න. මම මිසර දේශයේ ඉතා හොඳ දේ ඔබ සැමට දෙන්නෙමි, ඔබ සැම දේශයේ සාරය භුක්තිවිඳින්නහුය.
19දැනුදු ඔබට අණ ලැබුණු බැවින් මෙසේ කරන්නැයි ඔවුන්ට කියන්න-ඔබ සැම ඔබ සැමගේ දරුවන්ටද භාර්යාවන්ටද මිසර දේශයෙන් ගැල් රැගෙන ගොස්, ඔබ සැමගේ පියා කැඳවාගෙන එන්න.
20ඔබ සැමගේ බඩු ගැන කරදරනොවන්න; මක්නිසාද මුළු මිසර දේශයේ ඉතා හොඳ දේ ඔබ සැමගේ ය කියන්නැයි කීයේය.
21ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝය. ඵාරාවෝගේ අණ ලෙස යෝසෙප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය.
22ඔහු ඔවුන් එකිනෙකාට ඇඳුම් කුට්ටමක් බැගින් දුන්නේය; නුමුත් බෙන්යමින්ට රිදී තුන්සියයක් සහ ඇඳුම් කුට්ටම් පහක් දුන්නේය.
23ඔහු තමාගේ පියාට මෙයාකාරයෙන් යැවීය; එනම්, මිසරයේ හොඳ දේවල් පටවනලද කොටළුවන් දසදෙනෙකුත් තමාගේ පියාට මගට ධාන්‍යද රොටිද භෝජනද පටවනලද කොටළුදෙනුන් දසදෙනෙකුත් යැවුවේය.
24මෙසේ ඔහු තමන් සහෝදරයන් හැරියේය, ඔව්හු පිටත්ව ගියෝය. තවද: මගදී ඩබරනොකරන්ට බලාගන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
25ඔව්හු මිසරයෙන් නික්ම ගොස් කානාන් දේශයෙහි තමන්ගේ පියවූ යාකොබ් වෙතට පැමිණියෝය.
26තවද ඔව්හු: යෝසෙප් තවම ජීවත්ව සිටියි, ඔහු මුළු මිසර දේශයට ආණ්ඩුකාරයායයි ඔහුට කීවෝය. ඔහුගේ සිත ක්ලාන්තවිය, මක්නිසාද ඔහු ඔවුන් කී දේ විශ්වාස කළේ නැත.
27ඔව්හුද යෝසෙප් තමන්ට කී සියලු වචන ඔහුට කීවෝය. තමා ගෙනයන පිණිස යෝසෙප් එවූ ගැල් ඔවුන්ගේ පියවූ යාකොබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත්විය.
28ඉතින් ඇත; මාගේ පුත්‍රවූ යෝසෙප් තවම ජීවත්ව සිටියි. නහින්ට පළමුවෙන් ගොස් මම ඔහු දක්නෙමියි ඉශ්රායෙල් කීවේය.