Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය.
2සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි මේ සෙනඟ කියතියි කීසේක.
3එකල ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ:
4මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන නුඹලාගේ ගෙවල්වල වාසයකිරීමට නුඹලාට මෙය නිසි කාලයද?
5එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.
6නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.
7සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.
8මා විසින් ගෘහය කෙරෙහි ප්‍රසන්නවී ගෞරව ලබන පිණිස, නුඹලා කඳු රටට නැගී ගොස් ලී ගෙනවුත් ඒක ගොඩනගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9නුඹලා බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; නුඹලා ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ අසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී නුඹලා එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය.
10එබැවින් නුඹලා නිසා ආකාශයෙන් පිනි නැවතී තිබේ, පොළොවෙන් එහි ඵල වැලකී තිබේ.
11මම දේශය හා කඳුද ගොයමද මිදියුසද තෙල්ද භූමියෙන් හටගන්න දේවල්ද මනුෂ්‍යයන්ද සිව්පාවුන්ද සියලු හස්තකර්මද පිටට නියඟයක් එන්ට අණකෙළෙමියි කීවේය.
12එකල ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාද සෙනඟගෙන් අනික් සියල්ලෝද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටත් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් එවූ අනාගතවක්තෘවූ හග්ගයිගේ වචනවලටත් කීකරුවූවෝය; එසේ සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි භයවූවෝය.
13එකල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයාවූ හග්ගයි ස්වාමීන්වහන්සේගේ පණිවිඩයේ හැටියට සෙනඟට කථාකොට: මම නුඹලා සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
14තවද ස්වාමීන්වහන්සේ ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ගේ ආත්මයද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ආත්මයද සෙනඟගෙන් අනික් සියල්ලන්ගේ ආත්මද පුබුදුකළසේක.
15ඔව්හු දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ විසිහතරවෙනිදා ඇවිත් තමුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්ව���න්සේගේ ගෘහයෙහි වැඩය කළෝය.