Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
12 verses
1ඉශ්රායෙල් බාලව සිටි කල මම ඔහුට ප්‍රේමකොට, මාගේ පුත්‍රයාවූ ඔහු මිසරයෙන් කැඳවාගතිමි.
2ඔවුන් කැඳවූ පමණටම ඔව්හු ඔවුන් වෙතින් ඉවත්ව ගියෝය. ඔව්හු බාල් දේවතා වුන්ට යාගකළෝය, කැපූරූපවලට සුවඳ දුම් ඔප්පුකළෝය.
3එහෙත් මම එප්‍රායිම්ට ඇවිදින්ට ඉගැන්වීමි; මාගේ අත්වලින් ඔවුන් වඩාගතිමි; එහෙත් ඔවුන්ට සුවකළේ මා බව ඔව්හු නොදැන සිටියෝය.
4මනුෂ්‍ය ලනුවලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට, ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.
5ඔහු මිසර දේශයට හැරී නොයන්නේය; එහෙත් ඔවුන් හැරීඑන්ට අකමැතිවූ නිසා අෂූරියයා ඔහුගේ රජ වන්නේය.
6ඔවුන්ගේ මන්ත්‍රණ නිසා කඩුව ඔහුගේ නුවරවල් පිටට පැමිණ, ඔහුගේ පොලු විනාශකොට, ඔවුන් නාස්තිකරන්නේය.
7මාගේ සෙනඟ මා කෙරෙන් පසුබටවීමට ඇලුම්ව සිටිති. උසස් තැන්හි වසන තැනන්වහන්සේ වෙතට එන්ට ඔවුන් කැඳවන නුමුත්, කිසිවෙක් උන්වහන්සේව උසස් නොකරන්නේය.
8එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ෂෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.
9මාගේ බලවත් උදහස ඉෂ්ට නොකරන්නෙමි, එප්‍රායිම් නැවත විනාශ නොකරන්නෙමි. මක්නිසාද මම මනුෂ්‍යයෙක් නොව දෙවියන්වහන්සේය; නුඹලා අතරෙහි සිටින ශුද්ධ තැනන්වහන්සේය.
10මම නුවරට ඇතුල් නොවන්නෙමි. ස්වාමීන්වහන්සේ සිංහයෙකු මෙන් ගොරවන කල, ඔව්හු උන්වහන්සේ පස්සේ යන්නෝය. මක්නිසාද උන්වහන්සේ ගොරවනසේක, දරුවෝද වෙවුලමින් බස්නාහිර සිට එන්නෝය.
11ඔව්හු ගේකුරුල්ලෙකු මෙන් මිසරයෙන්ද පරෙවියෙකු මෙන් අෂූර් දේශයෙන්ද වෙවුලමින් එන්නෝය. මම ඔවුන්ගේ ගෙවල්වල ඔවුන් වාසයකරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
12එප්‍රායිම් බොරුවද ඉශ්රායෙල් වංශය වංචාවද ඇතුව මා වටකරගන සිටිති; එහෙත් යූදා දෙවියන්වහන්සේ එනම් විශ්වාසවූ ශුද්ධ තැනන්වහන්සේ කෙරෙහි තවම අස්ථිරව සිටියි.