Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
16 verses
1එප්‍රායිම් කථාකළ විට වෙවුලුමක් විය; ඔහු ඉශ්රායෙල් අතරෙහි උසස්වුණේය. නුමුත් ඔහු බාල් කරණකොටගෙන වරදකර නැසුණේය.
2දැන් ඔවුන් තව තව පව්කරමින්, පිළිම වන දේවරූප තමුන්ගේ ඥානයේ හැටියට තමුන්ගේ රිදීවලින් සාදාගන තිබේ, ඒ සියල්ල කම්කරුවාගේ වැඩය. පූජාකරන මනුෂ්‍යයෝ වස්සන් සිඹගනිත්වයි ඔව්හු ඒවා ගැන කියති.
3එබැවින් ඔව්හු උදයේ වලාකුළ මෙන්ද ඉක්මනින් පහවයන පිනි මෙන්ද සුළිහුළඟ කරණකොටගෙන කමතෙන් ගසාගෙනයන බොල් මෙන්ද දුම් කවුළුවෙන් යන දුම මෙන්ද වන්නෝය.
4නුමුත් මම මිසර දේශයේ පටන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේව සිටිමි; මා ඇර අන්‍ය දෙවි කෙනෙකු ඇඳින නොගන්න, මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.
5මම වනාහි නිරුදක දේශයක් වන කාන්තාරයේදී නුඹ ඇඳින්නෙමි.
6ඔවුන්ගේ ගොදුරු-බිම් ප්‍රකාරයට ඔව්හු තෘප්තියට පැමින්නෝය; තෘප්තියට පැමිණි විට ඔවුන්ගේ සිත උඩඟුවිය. එබැවින් ඔව්හු මා මතකනැතිකළෝය.
7මමද ඔවුන්ට සිංහයෙකු මෙන් වෙමි. මග අසල දිවියෙකු මෙන් බලාසිටිමි.
8පැටවුන් නැතිවුණ වැලහින්නියක් මෙන් මම ඔවුන්ට විරුද්ධව පැමිණ, ඔවුන්ගේ හෘදයේ අතුණුවැටිය ඉරන්නෙමි. එහිදී සිංහයෙකු මෙන් ඔවුන් නාස්තිකරන්නෙමි; වල් මෘගයා ඔවුන් ඉරාදමන්නේය.
9අනේ ඉශ්රායෙල්, නුඹ විනාශයට පැමිණ සිටින්නේ නුඹේ ආධාරකාරයා වන මට විරුද්ධව සිටීමෙන්ය.
10ඉතින් නුඹේ රජ කොතනද? ඔහු නුඹේ සියලු නුවරවලදී නුඹ ගළවාවා. නුඹේ විනිශ්චයකාරයෝ (කොතනද)? මක්නිසාද: මට රජෙකු සහ අධිපතීන් දුන මැනවයි නුඹ කීයෙහිය.
11මාගේ උදහසින් නුඹට රජෙකු දුන්නෙමි, මාගේ කෝපයෙන් ඔහු පහකෙළෙමි.
12එප්‍රායිම්ගේ අපරාධය බැඳ තබා තිබේ; ඔහුගේ පාපය නිදන්කර තිබේ.
13බිහිකරන ස්ත්‍රියෙකුගේ රුජා ඔහුට පැමිණෙනවා ඇත. ඔහු ප්‍රඥාව නැති පුත්‍රයෙක්ය; මක්නිසාද ඔහු ගර්භාග්‍රයෙහි නොසිටීමෙන් බිහිවන්ට ප්‍රමාදවන්නේය.
14මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද? පසුතැවිල්ල මාගේ ඇස්වලින් සැඟවී තිබෙයි.
15ඔහු සහෝදරයින් අතරේ සඵලව සිටින නුමුත්, පෙරදිග හුළඟක් වන ස්වාමීන්වහන්සේගේ හුස්ම කාන්තාරයෙන් නැගී ඇවිත්, ඔහුගේ උල්පත හිදීයන්නේය, ඔහුගේ ළිඳද වියළීයනවා ඇත. ඒ අය සියලු ප්‍රිය භාජන වන වස්තු කොල්ලකනවා ඇත.
16සමාරිය ස්වකීය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිගැසූ නිසා අච්චුලබන්නීය. ඔව්හු කඩුවෙන් වැටෙන්නෝය; ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝය, ඔවුන්��ේ ගර්භිණීන්ද ඉරාදමනු ලබනවා ඇත. පශ්චාත්තාපවීමට ආරාධනාව.