Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1නුඹලාගේ සහෝදරයන්ට අම්මී* කියාද කියන්න. (* අනුකම්පාලත්තී)
2නුඹලාගේ මව්ට විරුද්ධව පැමිණිලිකරන්න, පැමිණිලිකරන්න; මක්නිසාද ඈ මාගේ භාර්යාව නොවේ, මමද ඇගේ පුරුෂයා නොවෙමි. එබැවින් ඈ ඇගේ වේශ්‍යාකම් ඇගේ මුහුණෙන්ද ඇගේ කාමමිථ්‍යාචාරකම් ඇගේ පියයුරු අතරෙන්ද පහකරාවා;
3නැත්නම් මම ඈ නග්නකොට, ඈ උපන් දවසේදී මෙන් ඈ සිටුවා, කාන්තාරයක් මෙන් කර, වියළි දේශයක් මෙන් තබා, ඈ පිපාසායෙන් නසන්නෙමි;
4එසේය, ඇගේ දරුවන්ටද අනුකම්පා නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු වේශ්‍යා දරුවෝය.
5ඔවුන්ගේ මව් වේශ්‍යාකම්ද ඔවුන් බිහිකළ තැනැත්තී නින්දිතකම්දකර තිබේ. මක්නිසාද ඈ කථාකොට: මට කෑමද වතුරද ලොම්ද හණද තෙල්ද බීමද දෙන්නාවූ මාගේ ප්‍රේමවන්තයන් පස්සේ යන්නෙමියි කීවාය.
6එබැවින් නුඹේ මාර්ගය කටුවලින් අහුරන්නෙමි, ඇගේ මාවත් ඈට සොයාගන්ට බැරිවන ලෙස තාප්පයක් ගොඩනගන්නෙමි.
7ඈද ඇගේ ප්‍රේමවන්තියන් පස්සේ දුවන නුමුත් ඔවුන් කරා නොපැමිණෙන්නීය; ඈ ඔවුන් සොයන නුමුත් ඔව්හු ඈට සම්බ නොවන්නෝය. එවිට ඈ කථාකොට: මාගේ පළමු පුරුෂයා ළඟට හැරීයන්නෙමි; මක්නිසාද දැනට වඩා ඒ කාලය මට යහපත්ව තිබුණේයයි කියන්නීය.
8නුමුත් ධාන්‍යද මිදියුසද තෙල්ද ඈට දුන්නෙත් ඔවුන් විසින් බාල් රුප සෑදීමට ගත් රිදීද රන්ද ඈට වැඩිකළෙත් මා බව ඈ නොදැන සිටියාය.
9එබැවින් මම නියම කාලයට මාගේ ධාන්‍යද නියම සෘතුවට මාගේ මිදියුසද අහක්කරන්නෙමි, ඇගේ නග්නභාවය වසන්ට තිබුණු මාගේ ලොම්ද මාගේ හණද උදුරාගන්නෙමි.
10දැන් ඇගේ ප්‍රේමවන්තයන්ගේ ඇස්වලට ඇගේ සල්ලාලකම පෙන්වන්නෙමි, කිසිවෙක් මාගේ අතින් ඈ නොගළවන්නේය.
11ඇගේ සියලු ප්‍රීතියද ඇගේ මංගල්‍යයන්ද ඇගේ අමාවක්ද ඇගේ සබත් දවස්ද ඇගේ සියලු නියම රැස්වීම්ද පහකරන්නෙමි.
12මේවා මාගේ ප්‍රේමවන්තයන් මට දුන් පණයම්යයි ඈ කියන්නාවූ ඇගේ මිදිවැල් සහ අත්තික්කා ගස් මම නාස්තිකර කැලෑවක් කරන්නෙමි, වන මෘගයෝ ඒවා කන්නෝය.
13ඈ ඇගේ මුදුද ආභරණද පැළඳගෙන, ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ ගොස්, මා සිහිනැතිකොට, ඈ විසින් සුවඳදුම් ඔප්පුකරන්ට යෙදුණාවූ බාල් දේවතාවුන්ගේ දවස් නිසා ඈට දඬුවම් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
14එබැවින් මම ඈ කැමැතිකරවාගෙන, ඈ කාන්තාරයට පමුණුවා, ඈට කරුණාවෙන් කථාකරන්නෙමි.
15එතැන් පටන් ඇගේ මිදිවතුද පැතීමේ දොරක් පිණිස ආකොර් මිටියාවතද ඈට දෙන්නෙමි. එහි ඇගේ යෞවන දවස්වලදී මෙන්ද ඈ මිසර දේශයේ සිට ආ කාලයේදී මෙන්ද ඈ උත්තරදෙනවා ඇත.
16ඒ කාලයේදී බාලී* කියනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. (* එනම්, මාගේ පුරුෂයාය)
17මක්නිසාද මම බාල් දේවතාවුන්ගේ නාම ඇගේ කටින් පහකර දමන්නෙමි, ඒ දේවතාවෝ ඔවුන්ගේ නාමයෙන් තවත් කියනු නොලබන්නෝය.
18ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. දුන්නද කඩුවද යුද්ධයද දේශයෙන් නැතිකරදමා, ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි.
19මම නුඹ සදාකාලේටම පාවාගන්නෙමි; එසේය, ධර්මිෂ්ඨකමද විනිශ්චයද කරුණාවද අනුකම්පාවද ඇතුව නුඹ පාවාගන්නෙමි.
20විශ්වාසකමින් නුඹ පාවාගන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේ ඇඳිනගන්නෙහිය.
21ඒ කාලයේදී මම උත්තරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. අහසට උත්තරදෙන්නෙමි, අහස පොළොවට උත්තරදෙන්නේය;
22පොළොව ධාන්‍යවලටත් මිදියුසයටත් තෙල්වලටත් උත්තරදෙනවා ඇත; ඒවාද යෙස්‍රෙයෙල්ට උත්තරදෙනවා ඇත.
23මම ඈ දේශයෙහි මට වපුරාගන, කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනඟයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.