Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
19 verses
1ඉශ්රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.
2දෙස් තිබීමද බොරු කීමද මිනීමැරීමද සොරකම්කිරීමද කාමමිථ්‍යාචාරයද මිස වෙන කිසිවක් නැත; ලේ වැගිරවීම පිට ලේ වැගිරවීම වෙයි.
3එබැවින් දේශය වැලපෙනවා ඇත, එහි වසන සියල්ලෝ වනයේ මෘගයන් හා ආකාශයේ පක්ෂීන්ද ඇතුළුව මලානිකවන්නෝය; මුහුදු මත්ස්‍යයෝ පවා පහකරනු ලබන්නෝය.
4එහෙත් කිසිවෙක් පැමිණිලි නොකෙරේවා, කිසිවෙක් අවවාද නොකෙරේවා; මක්නිසාද නුඹේ සෙනඟ පූජකයා සමඟ පැමිණිලිකරන අය වාගේය.
5එබැවින් නුඹ දවාලේ වැටෙනවා ඇත, අනාගතවක්තෘද නුඹ සමඟ රාත්රියේදී වැටෙනවා ඇත; නුඹේ මෑණියන්ද නාස්තිකරන්නෙමි.
6මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.
7ඔව්හු බෝවෙන්ට බෝවෙන්ට මට විරුද්ධව වඩ වඩා පව්කළෝය. ඔවුන්ගේ ගෞරවය ලජ්ජාවට හරවන්නෙමි.
8ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍යවෙති, ඔවුන් වරදකරනවාටත් ආශාවෙති.
9එබැවින් සෙනඟට මෙන්ම පූජකයාටත් සිද්ධවෙයි. මම ඔවුන්ගේ මාර්ගවල හැටියට ඔවුන්ට දඬුවම්කර, ඔවුන්ගේ ක්‍රියා නිසා ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.
10ඔව්හුද කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නෝය; ඔව්හු වේශ්‍යාකම්කරන නුමුත් වැඩි නොවන්නෝය. මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ සැලකීම අත්හැරියෝය.
11වේශ්‍යාකමද මුද්‍රිකපානයද මිදියුසද නිසා සිහිය පහවයන්නේය.
12මාගේ සෙනඟ තමුන්ගේ දණ්ඩෙන් විභාගකරති, ඔවුන්ගේ සැරයටියද ඔවුන්ට දන්වන්නේය. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් මුළාකෙරෙවුවේය, ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙන් වෙන්ව ගොස් වේශ්‍යාකම් කළෝය.
13ඔව්හු කඳු මුදුන්වල යාග කරති, හෙල් උඩ අලෝනද ලිබ්නාද ඒලාද යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම්ද ඔප්පුකරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති, නුඹලාගේ යෙහෙළියෝද කාමමිථ්‍යාචාරයකරති.
14නුඹලාගේ දූවරුන් වේශ්‍යාකම් කරන නිසාත් නුඹලාගේ යෙහෙළියන් කාමමිථ්යාචාරයකරන නිසාත් මම ඔවුන්ට දඬුවම් නොකරන්නෙමි; මක්නිසාද ඔව්හුම වේශ්‍යාවන් සමඟ අහක්ව යති, දේවාල වේශ්‍යාවන් සමඟ යාගකරති. තේරුම් නැති සෙනඟද හෙළාදමනු ලබන්නෝය.
15එම්බා ඉශ්රායෙල්, නුඹ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙ���ේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.
16මක්නිසාද ඉශ්රායෙල් මුරණ්ඩු එළදෙනෙක් මෙන් මුරණ්ඩුවූවාය. දැන් ස්වාමීන්වහන්සේ ඔවුන් බැටළුපැටවෙකු මෙන් විශාල ඉඩමක පෝෂ්‍යකරනවා ඇත.
17එප්‍රායිම් දේවරූපවලට බැඳී සිටියි; ඔහු නිකම් සිටියාවේ.
18ඔව්හු බීලා තීන්දුවුණාම වේශ්යාකම්කරති; ඇගේ ප්‍රධානියෝ නින්දිතකමට ඇලුම්වන්නෝමය.
19හුළඟ ඒකේ පියාපත්වලින් ඈ අසුකරගන ගියේය; එසේ ඔව්හු තමුන්ගේ පූජාවල් ගැන ලජ්ජාවන්නෝය.