Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
14 verses
1හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.
2මාගේ දෙවියන්වහන්ස, ඉශ්රායෙල් වන අපි ඔබ අඳුනමුව කියා ඔවුන් මට මොරගසනවා ඇත.
3ඉශ්රායෙල් වනාහි යහපත එපාකෙළේය. සතුරා ඔහු පස්සේ එළවාගනයනවා ඇත.
4ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.
5එම්බා සමාරිය, නුඹේ වස්සා මට පිළිකුළක්ය; මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබේ. ඔවුන් නිදොස් බවට පැමිණෙන්ට කොපමණ කල් යනවා ඇද්ද?
6මක්නිසාද මේකත් ඉශ්‍රායෙල්වරුන්ගෙන්ය; ඒක සෑදුවේ කම්කරුවෙක්ය, ඒක දෙවියන්වහන්සේ නොවේ. එසේය, සමාරියේ වස්සා කැබෙලිකරනු ලබන්නේය.
7ඔව්හු හුළඟ වපුරා, සුළිහුළඟ කපාගන්නෝය. ඔවුන්ට ගොයම් නැත; කොළවල කරල් නැත; තිබුණත්, අන්‍ය දේශීන් ඒවා ගිලගන්නවා ඇත.
8ඉශ්රායෙල් ගිලිනු ලැබීය. දැන් ඔව්හු ජාතීන් අතරෙහි අප්‍රියවූ භාජනයකට සමානව සිටිති.
9මක්නිසාද ඔව්හු තනියම සිටින වල් කොටළුවෙකු මෙන් අෂූර්ට ගියෝය. එප්‍රායිම් ප්‍රේමවන්තයන් කුලියට ගත්තේය.
10එසේය, ඔවුන් ජාතීන් අතරෙන් ඔවුන් කුලියට ගන්න නුමුත්, මමත් ඔවුන්* රජුගේද අධිපතීන්ගේද බර නිසා පිරිහෙන්ට පටන්ගනිති. (* එනම්, ඉශ්රායෙල්වරු)
11පව් කිරීම පිණිස එප්‍රායිම් පූජාසන වැඩිකරගත් බැවින් පූජාසන ඔහුට පව්කරන පිණිස විය.
12මා විසින් මාගේ ව්‍යවස්ථාවේ කාරණා ඔහු උදෙසා දසදහස් ගණනකින් ලියතත්, ඒවා අන්‍ය කාරණයක් කොට සලකනු ලබන්නේය.
13මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.
14තවද ඉශ්රායෙල් තමාගේ මැවුම්කාරයා මතකනැතිකොට, මාළිගා ගොඩනගාගන සිටී; යූදාද බලකොටු නුවරවල් වැඩිකරගන සිටී. නුමුත් මම ඔහුගේ නුවරවලට ගින්නක් යවන්නෙමි, එයින් එහි මාළිගා දාලායනවා ඇත.