Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
31 verses
1යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.
2ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය.
3ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.
4අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.
5නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.
6පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.
7නුඹලාගේ දේශය පාළුවී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.
8සියොන් දුව මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද වටලනලද නුවරක් මෙන්ද අත්හරිනු ලැබුවාය.
9සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.
10සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමො��ාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.
11නුඹලාගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.
12නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්ට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කව්ද?
13නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය.
14නුඹලාගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි.
15නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.
16නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.
17යහපත්කම්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න.
18ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.
19නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.
20නුඹලා අකමැතිව කැරළිගසන්නහු නම්, කඩුවෙන් මැරුම්කන්නහුය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළසේක.
21අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය.
22නුඹේ රිදී බොරවිය, නුඹේ මුද්‍රිකපානයෙහි වතුර මිශ්‍රවී තිබේ.
23නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.
24එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.
25මාගේ අත නුඹ පිටට හරවා, නුඹේ බොර සහමුලින්ම ඉවත්කර, නුඹේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි.
26මම පළමු ලෙස නුඹේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස නුඹේ මන්ත්‍රීවරුන්ද නැවත පිහිටුවන්නෙමි. ඉන්පසු නුඹ ධර්මිෂ්ඨකමේ නුවරය, විශ්වාස නගරයයයි කියනු ලබන්නීය.
27සියොන විනිශ්චය කරණකොටගෙනද ඈ තුළ [දෙවියන්වහන්සේ වෙතට] හැරෙන්නෝ ධර්මිෂ්ඨකම කරණකොටගෙනද මුදනු ලබන්නෝය.
28නුමුත් ද්‍රොහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය.
29මක්නිසාද නුඹලා ආශාවූ අලෝන ගස් නිසා ඔව්හු ලජ්ජාවන්නෝය, නුඹලා තෝරාගත් උයන් නිසා නුඹලා වියවුල්වන්නහුය.
30මක්නිසාද නුඹලා කොල පරවෙන අලෝන ගසක් මෙන්ද දියනැති උයනක් මෙන්ද වෙනවා ඇත.
31බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක.