Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
29 verses
1එප්‍රායිම් බේබද්දන්ගේ උදාරතර ඔටුන්නටත් මුද්‍රිකපානයට වසඟවෙන්නන්ගේ සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන එහි අලංකාර දීප්තිමත්කම වන පරවෙන මලටත් දුක් වේ!
2බලව, ස්වාමීන්වහන්සේගේ බලවත්වූ සවිවූ කෙනෙක් සිටින්නේය; ගල්වැස්ස සහිත කුණාටුවක් මෙන්ද විනාශකරන හුළඟක් මෙන්ද ගලායන මහත් ජලගැලීමක් මෙන්ද ඔහු ඒවා අතින් බිමට හෙළන්නේය.
3එප්‍රායිම්හි බේබද්දන්ගේ උදාරතර ඔටුන්න පයින් පාගාදමනු ලබන්නේය.
4සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන අලංකාර දීප්තිමත්කම වන පරවෙන මල නියඟ කලට පෙර පළමුවෙන් ඉදෙන අත්තික්කා ගෙඩියක්මෙන් වන්නේය; ඒක දකින අය එය දුටුවාම අතට ගත් කෙණෙහිම ගිලගන්නේය.
5ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ ඉතිරි සෙනඟට අලංකාර ඔටුන්නක්ද දීප්තිමත් කිරීටයක්ද,
6විනිශ්චය කිරීමට හිඳින්නාට විනිශ්චයේ ආත්මයක්ද දොරටුව ළඟදී සටන ආපසු හරවන්නන්ට බලයද වනසේක.
7එහෙත් මොව්හුද මුද්‍රිකපානය කරණකොටගෙන වැනි වැනී යති, සුරාපානය කරණකොටගෙන මුළාව යති; පූජකයාද අනාගතවක්තෘද සුරාපානය කරණකොටගෙන වැනි වැනී යති, මුද්‍රිකපානයෙහි ගිලී මද්‍යපානය කරණකොටගෙන මුළාව යති; ඔව්හු දර්ශනය වරද්දාගන විනිශ්චයේදී පැකිලෙති.
8මක්නිසාද සියලුම මේස පවිත්‍ර තැනක් නැති තරමට වමනයෙනුත් කැත දෙයිනුත් පිරී තිබේ.
9උන්වහන්සේ දැනගැන්ම උගන්වන්නේ කාටද? පණිවිඩය තේරුම්කරදෙන්නේ කාටද? කිරි වැරූවන්ට සහ තනෙන් වෙන්වුණ දරුවන්ටද?
10මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය.
11���සේය, උන්වහන්සේ වියවුල් තොල්වලින්ද වෙන භාෂාවකින්ද මේ සෙනඟට කථාකරනවා ඇත.
12උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නිවාඩුව මේය, වෙහෙසවූ අයට නිවාඩු දෙන්න; නිෂ්කලංකයත් මේයයි කීසේක. එහෙත් ඔව්හු අසන්ට අකමැතිවූහ.
13එබැවින් ඔවුන් ගොස් පස්සට වැටී පොඩිවී මලපතක වැටී අසුවෙන පිණිස: අණපිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය යන පිළිවෙළින් ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට වන්නේය.
14එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
15අපි මරණය සමඟ ගිවිසුමක් කොට පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.
16ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.
17මම විනිශ්චය ලනුවද ධර්මිෂ්ඨකම ලඹයද කොට පාවිච්චිකරන්නෙමි. බොරුවේ රක්ෂාස්ථානය ගල් වර්ෂාවට පහවන්නේය, සැඟවෙන ඉඩමද වතුරට යටවන්නේය.
18මරණය සමඟ තිබෙන නුඹලාගේ ගිවිසුම අවලංගුවන්නේය, පාතාලය සමඟ තිබෙන නුඹලාගේ පොරොන්දුව පවතින්නෙත් නැත; ගලාඑන විපත පැමිණෙන විට නුඹලා එයින් පාගාදමනු ලබන්නහුය.
19එය එන එන විට නුඹලාව අල්ලාගන්නවා ඇත; මක්නිසාද උදයෙන් උදයද රෑ දාවල්ද එය එනවා ඇත. ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි.
20මක්නිසාද යමෙකුට දිගාවීමට ඇඳ දිග මදිය; පෙරවාගැනීමට වැස්ම පළල මදිය.
21එසේය, ස්වාමීන්වහන්සේ තමන්ගේ ක්‍රියාව වන තමන්ගේ අපූරු ක්‍රියාව කිරීමටත් තමන්ගේ වැඩය වන තමන්ගේ අපූරු වැඩය ඉෂ්ටකිරීමටත් පෙරාශීම් කන්දේදී මෙන් නැගිටිනසේක, ගිබියොන් මිටියාවෙත්දී මෙන් කෝපවනසේක.
22ඒ නිසා නුඹලාගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේගෙන් ඇසීමි.
23නුඹලා කන් යොමුකර මාගේ හඬ අසන්න; ඇහුම්කන්දී මාගේ වචන අසන්න.
24හාන්නා වපුරන පිණිස සෑමදාම හාන්නේද? තොර නැතුව තමාගේ බිම හාරා පස්කැටි කඩන්නේද?
25ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද?
26මෙසේ ඔහුගේ දෙවියන්වහන්සේ හරි විධිය ඔහුට පෙන්වා ඔහුට උගන්වනසේක.
27තවද කොල්ලු තියුණු යන්ත්‍රයකින් මඩින්නේවත් දුරු පිට රථ රෝදයක් කරකවන්නේවත් නැත; කොල්ලු ලීයකින්ද දුරු කෝටුවකින්ද මඩින්නේය.
28රොටි-ධාන්‍ය අඹරනු ලබන්නේය; මක්නිසාද ඔහු ඒවා නිතරම තළ තළා නොසිටින්නේය. තමාගේ රථ රෝද සහ තමාගේ අශ්වයන් ඒවා පිට ගෙනගොස් ඒවා විසුරුවන නුමුත් ඒවා පොඩිකරවන්නේ නැත.
29මේකත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි, උන්වහන්සේ මන්ත්‍රණයෙන් අපූරුව ප්‍රඥාවෙන් උතුම්ව සිටිනසේක.