Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
25 verses
1මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය.
2ඔහු මොර නොගසන්නේය. ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය.
3ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම්ගහන පහන්තිරයක් නොනිවන්නේය. ඔහු සැබෑවෙන් විනිශ්චය ප්‍රකාශකරන්නේය.
4පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.
5ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
6ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසාගතිමි, මම නුඹේ අත අල්ලාගන, නුඹ ආරක්ෂා කොට, සෙනඟගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක්ද කොට නියමකරන්නෙමි.
7එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.
8මම ස්වාමීන්වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.
9බලව, පළමු කී දේවල් මෙන්න සිද්ධවී තිබේ, මම අමුතු දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි. ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගීයක්.
10මුහුදට බැසයන්නෙනි, එහි පිරී සිටින සියල්ලෙනි, දිවයින් හා එහි වැසියෙනි, ස්වාමීන්වහන්සේට අලුත් ගීතිකාවක් ද පොළෝ සීමාවේ සිට උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරන්න.
11කාන්තාරය සහ එහි නුවරවල්ද කේදාර්වරුන් වාසයකරන ගම්ද ශබ්දනගත්වා; පර්වතවල වැසියෝ ඔල්වරහඬ දෙත්වා, කඳු මුදුන්වල සිට මොරගසත්වා.
12ඔව්හු ස්වාමීන්වහන්සේට ගෞරවය දී, උන්වහන්සේගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශකෙරෙත්වා.
13ස්වාමීන්වහන්සේ බලවන්තයෙකු මෙන් නික්ම එනසේක; උන්වහන්සේ යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවනසේක; උන්වහන්සේ කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරනසේක.
14මම බොහෝ කල් නිශ්ශබ්දව සිටියෙමි; නිශ්චලව කථා නොකර සිටියෙමි. දැන් විළිරුජා ඇති ස්ත්‍රියෙකු මෙන් කෑගසන්නෙමි; එකවිටම කට ඇර හතිදමන්නෙමි.
15මම කඳු සහ හෙල් පාළුකර, ඒවායේ සියලු පලාජාති වියළවන්නෙමි, ගංගා ගොඩකර, පොකුණු හින්දවන්නෙමි.
16අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙනයන්නෙමි; ඔවුන් නොදන්නා මාවත්වලින් යන්ට සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියෙහි අන්ධකාරය එළිය කොට, ඇද තැන් ඇද අරින්නෙමි. මම මේ දේවල් කරන්නෙමි, ඔවුන් අත්නාරින්නෙමි.
17රූප කෙරෙහි විශ්වාසකරන්නාවූ, නුඹලා අපේ දෙවිවරුයයි පිළිමවලට කියන්නාවූ අය පස්සට හරවනු ලබන්නෝය, බොහෝසෙයින් ලජ්ජාවට පත්වන්නෝය.
18බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, දකින පිණිස බලන්න.
19මාගේ මෙහෙකරුවා මිස අන්ධව සිටින්නෙත් මාගේ පණිවිඩකාරයා මෙන් බිහිරිව සිටින්නෙත් කවුද? මා හා සමාදානයෙන් සිටින්නා මෙන් අන්ධව සිටින්නෙත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවා මෙන් අන්ධව සිටින්නෙත් කවුද?
20නුඹ බොහෝදේ දකින නුමුත් නොසලකන්නෙහිය; ඔහුගේ කන් ඇරී තිබෙද්දීත් ඔහු අසන්නේ නැත.
21ස්වාමීන්වහන්සේ තමන්ගේ ධර්මිෂ්ඨකම නිසා ව්‍යවස්ථාව උතුම් කොට ඊට ගෞරවකරන්ට සතුටුවූසේක.
22එහෙත් මොව්හු කොල්ලකෑමද පැහැරගැන්මද වින්දාවූ සෙනඟක්ය; මොවුන් සියල්ලෝම වළවල්හි අසුවී, ඇඳිරි ගෙවල්වල සඟවනු ලැබ සිටිති. කිසිවෙකු විසින් ගළවනු නොලැබ, ඔව්හු කොල්ලයක්ව සිටිති; නිදහස්කරන්නැයි කිසිවෙකු කියන්නේ නැතුව නාස්තියක්වී සිටිති.
23නුඹලා අතරෙන් කවුරු මීට ඇහුම්කන්දී අසා, මින් මත්තට කීකරුවන්නේද?
24යාකොබ් කොල්ලයක් පිණිසද ඉශ්රායෙල් කොල්ලකාරයන්ටද දුන්නේ කවුද? ස්වාමීන්වහන්සේ නොවේද? අප පව්කළේ උන්වහන්සේට විරුද්ධවය, ඔවුන් යන්ට අකමැතිවුණේ උන්වහන්සේගේ මාර්ගවලය; ඔවුන් අකීකරුවුණේ උන්වහන්සේගේ ව්‍යවස්ථාවටය.
25ඒ නිසා උන්වහන්සේ තමන්ගේ බලවත් උදහස සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි වැගිරෙවුසේක; එයින් ඔවුන් වටකර ඔවුන්ට ගිනිඇල්ලූ නුමුත්, ඔව්හු එය නොදත්තෝය; එයින් ඔවුන් දැවූ නුමුත්, ඒක සිතට නොගත්තෝය.