Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1ධර්මිෂ්ඨකම අනුවයන්නාවූ, ස්වාමීන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෙනි, මට කන්දෙන්න. නුඹලාව කොටාගත්තේ මොන පර්වතයකින්ද කියාත් නුඹලාව හාරාගත්තේ මොන ගල්වළකින්ද කියාත් බලන්න.
2නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.
3මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.
4මාගේ සෙඟෙනි, මට ඇහුම්කන්දෙන්න; මාගේ ජනයෙනි, මට කන්යොමුකරන්න. මක්නිසාද ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත්වන්නේය, මාගේ විනිශ්චයද ජාතීන්ට එළියක් කොට පිහිටුවන්නෙමි.
5මාගේ ධර්මිෂ්ඨකම ළංව තිබේ, මාගේ ගැළවීම පිටත්ව ගියේය, මාගේ හස්තයන්ද ජනයන් විනිශ්චයකරනවා ඇත; ද්වීපයෝ මා ගැන බලාසිට, මාගේ හස්තය කෙරෙහි බලාපොරොත්තුවෙනවා ඇත.
6නුඹලාගේ ඇස් අහස දෙසට ඔසවන්න, පහළ තිබෙන පොළොවත් බලන්න. මක්නිසාද අහස දුම මෙන් පහවීයන්නේය, පොළොවද වස්ත්‍රයක් මෙන් පරණවන්නේය, එහි වාසයකරන්නෝද එයාකාරයෙන්ම නසින්නෝය. නුමුත් මාගේ ගැළවීම සදාකාලේටම පවතින්නේය, මාගේ ධර්මිෂ්ඨකමද කඩ නොවන්නේය.
7ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනඟෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න.
8මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය. පුරාණයේදී මෙන් බලය දක්වන ලෙස දෙවියන්වහන්සේට අයදීම.
9එම්බා ස්වාමීන්වහන්සේගේ හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් නුඹ නොවේද?
10මහ ගැඹුරේ ජලය වන මුහුද හින්දවා, මිදුණු අයට එතරවීමට මුහුදේ ගැඹුරු මාර්ගයක් කළේ නුඹ නොවේද?
11ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.
12නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ,
13අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?
14රටින් පිට වහල්වී සිටින්නා ඉක්මනට මුදනු ලබන්නේය; ඔහු වළේදී නසින්නේවත් ඔහුගේ කෑම පිරිහෙන්නේවත් නැත.
15මම වනාහි මුහුදේ රැළ ගර්ජනාකරන ලෙස එය අවුස්සන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
16මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත්: නුඹ මාගේ සෙනඟයයි සියොන්ට කීමටත්, මාගේ වචනය නුඹේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවණෙහි නුඹ සැඟෙවුවෙමි.
17ස්වාමීන්වහන්සේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරාබීවාවූ යෙරුසලම, පිබිදෙන්න,නැගිටින්න.
18ඈ වැදූ සියලුම පුත්‍රයන් අතරෙන් ඈට මගපෙන්වන්ට කෙනෙක් නැත; ඈ ඇතිකළ සියලුම පුත්‍රයන් අතරෙන් ඇගේ අත අල්වාගන්ට කිසිවෙක් නැත.
19මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද?
20නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.
21එබැවින් පීඩිතවූ, මුද්‍රිකපානය නැතුව මත්වී සිටින්නාවූ තැනැත්තිය, මේක අසන්න.
22නුඹේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නාවූ නුඹේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝය නැමති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය.
23නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය