Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
2නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. නුඹේ ලනු දික්කර නුඹේ ඇණ සවිකරන්න.
3මක්නිසාද නුඹ දකුණටත් වමටත් පැතිරයනවා ඇත; නුඹේ වංශය ජාතීන්ගේ දේශ හිමිකරගෙන, පාළුවූ නුවරවල් වැසියන්ගෙන් පුරවනවා ඇත.
4භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.
5කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ.
6මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ නුඹ කැඳවාගත්සේකැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක.
7මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් නුඹ නැවත කැඳවාගන්නෙමි.
8මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පාකරමියි නුඹේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියනසේක.
9මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. ම��්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි.
10මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.
11අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.
12නුඹේ කොත් රක්ත මාණික්‍යවලින්ද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද නුඹේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.
13නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.
14නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය.
15මෙන්න, මාගේ සංඥාවක් නැතුව මනුෂ්‍යයන් රැස්වෙනවා ඇත. නුඹට විරුද්ධව එකතුවෙන කවුරු නුමුත් නුඹ නිසා වැටෙන්නෝය.
16අඟුරුගින්න පිඹ නියම වැඩයට ආයුධයක් සාදන්නාවූ ආචාරියා මැවුවේ මමය; වැනසීමට නාස්තිකාරයා මැවුවෙත් මමය.
17නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.